ප්‍රශ්නය :-
අවසර ස්වාමීන් වහන්ස, නිවන් මඟ අපි වඩාගෙන යද්දී අද වෙනකොට ප්‍රතිපත්ති පුරන ස්වාමීන් වහන්සේලා අතර ප්‍රශ්නයක් තියෙනවා, මේ පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා බෙදනවා. එහෙම නැත්නම් අධි බ්‍රහ්ම චරියාව බ්‍රහ්ම චරියාව කියලා බෙදනවා. මෙන්න මෙතන වෙනස කොහොමද කියලා….?
(සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.)
අරියඥාණ ස්වාමීන් වහන්සේ :-
මට චුට්ටක් ඒක පැහැදිලි කරල දෙන්න ස්වාමීන් වහන්ස. මොකක්ද කියලා.
ප්‍රශ්න කරන ස්වාමීන් වහන්සේ :-
නිවන් මඟ අපි ගමන් කරද්දී පූර්ව ප්‍රතිපදාව, ප්‍රතිපදාව කියලා බෙදනවා කියනවා. තව ක්‍රමයකින් කියනවා අධි බ්‍රහ්ම චරියාව බ්‍රහ්ම චරියාව කියලා බෙදනවා කියලා. එතකොට දැන් සමහරක් ස්වාමීන් වහන්සේලා කියනවා අපි මාර්ගය කියන එක ඉබේ පැමිණෙනවා කියලා. සමහරක් අය කියනවා අපි මාර්ගය කියන එක වැඩිය යුතුයි කියලා.
ගරු ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨි, ගත්තයින් පස්සේ කම්මස්ස ගත සම්මා දිට්ඨිය කියනවා. ඊට පස්සේ මාර්ගයට අනුලෝම වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා කියනවා. ඊට පස්සේ මාර්ග සම්මා දිට්ඨියක් තියෙනවා කියනවා. ඵල සම්මා දිට්ඨියක් තියෙනවා කියනවානෙ. ඒ නිසා මට ප්‍රශ්නය තියෙන්නේ මොකක්ද මේ මග්ගානුලෝමික සම්මා දිට්ඨිය..? ඒක අපි හුරු කළ යුතු දෙයක්ද..? එහෙම නැත්නම් ක්ෂණයකින් මාර්ගය කියන එක ඉපදිලා ඊට පස්සේ ඵල සිත උපදිනවාද..? එහෙම නැත්නම් මාර්ගය වැඩිය යුත්තක්ද…?
පිළිතුර :-
මාර්ගය අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්ස, වැඩිය යුත්තක්. මම ඔතෙන්දි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණය තමයි දන්නේ ස්වාමීන් වහන්ස. නමුත් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි පැමිණෙනවා. ඉතින් ඒ පැමිණීම තුළ මේ මාර්ගය තුළ ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියෙන් තොරව කවදාක්වත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයකින් තොරව කවදාක්වත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ. මේ සියල්ලෙන් තොරව කවදාක්වත් ස්වාමීන් වහන්ස සම්මා සතියක් සම්මා සමාධියක් කියන කාරණය සකස් වෙන්නේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්ස අනිවාර්යයෙන්ම මේ සියල්ලේම ඵලය තමයි සම්මා සමාධිය කියලා අපි අවසානෙදී ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී දකින්නේ. සම්මා සමාධිය සකස් වෙච්ච තැනයි, ඒ කියන්නේ මේ මාර්ග අංග අට පරිපූර්ණ ආකාරයෙන් ලෝකෝත්තර වශයෙන් වැඩුණ තැනයි ස්වාමීන් වහන්ස කවදාහරි එතනදී සම්මා ඤාණ කියන කාරණය සකස් වෙන්නේ. සම්මා ඤාණ සකස් වුණ තැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියලා.
එහෙම නම් ස්වාමීන් වහන්ස අපේ අරමුණ විය යුත්තේ අපේ ඉලක්කය විය යුත්තේ අප තුළින් සම්මා ඤාණයන් සකස් කරගන්න. සම්මා ඤාණයන් සකස් කරගන්න නම් ස්වාමීන් වහන්ස ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ ආකාරයෙන් වැඩෙන්න ඕන ස්වාමීන් වහන්ස. පරිපූර්ණ ආකාරයෙන් වැඩීමකින් තොරව කවදාක්වත් සම්මා ඤාණ සකස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය දැකලා උන්වහන්සේ දෙන එක කමටහනකින් ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගත්තා. ධර්මය දැක්කා. නමුත් මේ මොහොතේ ස්වාමීන් වහන්ස අපිට ඒ ශක්තිය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි ධර්මය දැකීම හෝ ධර්මය අවබෝධය කරා යන්න නම් අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵලය මයි ස්වාමීන් වහන්ස. මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා සමාධිය දක්වා වැඩුණ තැනදී සම්මා ඤාණ කියන කාරණය අපි සකස් කර ගන්නවා. සම්මා ඤාණ තුළින්මයි අපි සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්න ඕනේ. එහෙම නම් ස්වාමීන් වහන්ස මේ ධර්ම මාර්ගයේ ඵලයන් කියන තැනට අපි යන්න නම් අනිවාර්යයෙන්ම මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වැඩෙන්න ඕන ස්වාමීන් වහන්ස. මාර්ගයේ අර්ථය තමයි මාර්ගයේ ඵලය තමයි අපි ලබන්නාවූ අවබෝධය. (නැවත අරියඥාණ ස්වාමීන් වහන්සේ,) ඒ උත්තරය ගැලපෙනවද ස්වාමීන් වහන්ස..?
ප්‍රශ්නය විමසූ ස්වාමීන් වහන්සේ :-
ඔව් ස්වාමීන් වහන්ස. මට ප්‍රශ්නයක් තිබ්බේ මාර්ගය සම්බන්ධව තියෙන ප්‍රශ්නෙදී දැන් ඔය සමහරක් තැන්වල කියනවා, මේ මම අහපු එකක්. පූර්ව ප්‍රතිපදාවේදී පංචුපාදානස්කන්ධය විපස්සනා කරන්න ගත්තොත් එහෙම පූර්ව ප්‍රතිපදාවෙදි අපි රූප වෙනම විපස්සනා කරනවා. නාම ධර්ම වෙනම විපස්සනා කරනවා කියනවනේ. එතකොට මාර්ග සම්මා දිට්ඨියට එනකොට එහෙමද කරන්නේ ස්වාමීන් වහන්ස..?
පිළිතුර:-
මේකනේ ස්වාමීන් වහන්ස. මගේ ජීවිතයේ මට තියෙන අත්දැකීම් වලදී ස්වාමීන් වහන්ස, මම කොයිම වෙලාවකවත්, මුලින්ම ස්වාමීන් වහන්ස රූපයමයි මම අනිත්‍ය සඤ්ඤාවට ලක් කළේ. තේරුණාද..? පංචුපාදානස්කන්ධයේ වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් කියන කාරණා ගැන මම හිතන්න ගියේ නැහැ. රූපයමයි විදර්ශනාවට ලක්කළේ. මොකද පංචුපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය රූප උපාදානස්කන්ධයයි. එහෙනම් රූපය කෙරෙහි ඇතිකර ගන්නා වූ තෘෂ්ණාව නිසායි වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් සකස් කර ගන්නේ. රූපය කෙරෙහි යම් මොහොතක අපි තෘෂ්ණාවෙන් මිදුණා නම් ස්වාමීන් වහන්ස අපට වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ලෝකයේ කොහේ හරි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නව නම් උන්වහන්සේටත් ඇහැක් තියෙනවා. උන්වහන්සේත් ඇහෙන් රූප දකිනවා. උන්වහන්සේටත් කණක් තියෙනවා. උන්වහන්සේත් කණෙන් ශබ්ද අහනවා. එතකොට ඇසුණා, දැක්කා කියල කියන්නේ ස්වාමීන් වහන්ස ඵස්සය කියන තැන, බුදුරජාණන් වහන්සේ. කාරණා තුනක එකතුව. අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඤ්ඤාණය යන තුනේ එකතුව. නමුත් රහතන් වහන්සේ දක්ෂයි ඵස්සය සිද්ධ වෙන මොහොතේම අනිත්‍යයි කියලා දකින්න ස්වාමීන් වහන්ස. මොකද උන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන වෙලාවෙ ඤාණ දර්ශන තුළින් රූපයේ අනිත්‍ය භාවය දැක්කා. ඤාණ දර්ශන තුළිනුයි උන්වහන්සේ රූපයේ අනිත්‍ය භාවය දැැක්කේ. ඒ නිසා උන්වහන්සේ ඕනම රූපයක් ඉදිරියේ ශක්‍රයා, මහාබ්‍රහ්මයා කියන රූපය දැක්කත් උන්වහන්සේ දක්ෂයි එක මොහොතින්ම අනිත්‍යයි කියන කාරණය ඵස්සයේදී දකින්න ස්වාමීන් වහන්ස. එතකොට උන්වහන්සේ ඵස්සයේදී අනිත්‍යයි කියලා දකින නිසා වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයක් උන්වහන්සේ තුළ සකස් වෙන්නේ නැහැ.
එහෙනම් ස්වාමීන් වහන්ස මෙතනදී අපේ මූලික බර, මූලික ඉලක්කය අපි දෙන්න ඕනෙ රූපයේ අනිත්‍ය භාවය දැකීමට මයි ස්වාමීන් වහන්ස. මගේ ජීවිතයේ තියෙන අත්දැකීම මම රූපයමයි විදර්ශනාවට ලක් කළේ. මනුස්සයා කියන රූපය වේවා, තිරිසන් සතා කියන රූපය වේවා, ප්‍රේතයා කියන රූපය වේවා, නිරිසතා කියන රූපය වේවා, දෙවියා බ්‍රහ්මයා කියන රූපය වේවා, මේ සෑම රූපයක්ම විදර්ශනා නුවණටම ලක් කළා ස්වාමීන් වහන්ස. එතනදී මට කොතනක වත් වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පිළිබඳව හිතන්න යන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. අපට එක කාරණයක් අවබෝධ කරලා කාරණා පහක් දකින්න පුළුවන් නම් ස්වාමීන් වහන්ස, අපි කාරණා පහක් අවබෝධ කර ගන්න යන එකේ තේරුමක් නැහැ. අපි හැම වෙලාවෙම සරල තැනින් මේක මතුකරලා ගන්න දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්ස. අනිත් එක දෙවන කාරණය වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන කාරණා ස්වාමීන් වහන්ස අපට ප්‍රකට නැහැ. අපට ප්‍රකට නැහැ. නමුත් රූපය අපට ප්‍රකටයි ස්වාමීන් වහන්ස. රූපය ප්‍රකට නිසා රූපය අපට විශේෂිතයි. ඒකයි සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රූපයම විදර්ශනාවට ලක් කරන්න කියන්නේ, ආයතන හැටියට, සතර මහා ධාතුව හැටියට, දෙතිස් කුණපය හැටියට.
එහෙනම් රූපය අනිත්‍යයි කියලා අවබෝධ කර ගනිද්දී අනිවාර්යයෙන් ම ස්වාමීන් වහන්ස වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතු වෙන්නේ නැහැ. නමුත් ඒක තමයි මම දකින අත්දැකීම ස්වාමීන් වහන්ස.
අතුරු ප්‍රශ්නය:-
අවසර ස්වාමීන් වහන්ස, එතකොට අපේ නාම ධර්ම ටික විපස්සනා කරන්න අවශ්‍යම නැද්ද..? මාර්ගයට එද්දී රූපයම විතරක් ඇත්ද..? ස්වාමීන් වහන්ස..?
පිළිතුර:-
මගේ පැවිදි ජීවිතයේ මම රූපයමයි ගත්තේ ස්වාමීන් වහන්ස. රූපය කෙරෙහි තෘෂ්ණාව මිදුණ තැනදී වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නෙ නැහැ. මොකද රූපය නිසයි මේක මතු කරගන්නේ අපි. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව.
අතුරු ප්‍රශ්නය:-
අවසර ස්වාමීන් වහන්ස, එතකොට අද භාවනා කරන අයට ලෝකයේ ප්‍රශ්නයක් තියෙනවා ඔය මජ්ජි සූත්‍රයත් එක්ක. ඔය මජ්ජි සූත්‍රයේ හය ආකාරයකින් විස්තර කරනවා මැදුම් පිළිවෙත ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවකට මේ බුද්ධ ශාසනයේ මැදුම් පිළිවෙතට කියන එකට ආව නම් එයා නිවන කරාම ගහගෙන යනවා කියලා. එතෙන්දි කියනවා මහණෙනි, රූපය එක් අන්තයක් කියලා. එතකොට නාමය එක් අන්තයක් කියනවා. විඤ්ඤාණයයි කියනවා මජ්ජි. එතකොට ස්වාමීන් වහන්ස අපි රූපයම විපස්සනා කළොත් අපි ඉන්නේ අන්තයක නේද ඉන්නේ..? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද..?
පිළිතුර:-
මගේ අත්දැකීම තුළ ස්වාමීන් වහන්ස, දැන් රූපය කියන කාරණයමයි මම විපස්සනාවට ලක් කළේ. මොකද වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් ගැන මට දැනීමක් තිබ්බේ නෑ ඒ කාලේ. එවැනි දෙයක් තිබ්බේ නැහැ. අවසානෙදි මගේ අත්දැකීම් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කියන කොට තමයි උන්වහන්සේ කිවුවේ “ඔබ ඔය කියන්නේ පංචුපාදානස්කන්ධය” කියලා. මම සති, ධම්මවිචය, වීර්ය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන්නේ සප්ත බොජ්ඣංග කියලා දැනගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්ස. මම එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුට පෙරදින රාත්‍රියේදී මට මෙන්න මේ කාරණා වැඩුණා කියද්දී උන්වහන්සේ තමයි මට කිවුවේ මේකටයි සප්ත බොජ්ඣංග කියන්නේ කියලා. ඒ නිසා මගේ නොදන්නා භාවය මයි මම හැම වෙලාවෙම දන්නා භාවයක් ඇති කර ගත්තේ ස්වාමීන් වහන්ස. මම සමහර විට අර දන්නා භාවය තුළ හිටිය නම් මට සමහර විට කොතනක හරි හිරවෙන්න තිබ්බා. ඒ නිසා අපි සරල තැනින්ම මතුකරලා ගන්න වෙනවා ස්වාමීන් වහන්ස මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයන් තියෙනවා, ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා දේශනා කරපු සූත්‍ර තියෙනවා. එතකොට කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල නම් සමහරවිට එයාට අදාල සූත්‍රයක් දේශනා කළා වෙන්න පුළුවන්.
නමුත් එතනදී අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්ස, අපි පහසු ආකාරයෙන් මේක මතුකරල ගන්න. මොකද එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය වෙනස්. ඉතින් එතනදී මට දක්ෂ භාවය තිබ්බා රූපයම විදර්ශනාවට ලක් කරන්න. රූපයම විදර්ශනාවට ලක් කරද්දී රූපය කෙරෙහි තෘෂ්ණාව මිදුණ තැනදී ස්වාමීන් වහන්ස, අර කාරණා පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැයි කියන එක මට දැන් තේරෙනවා.
(මෙම සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලා විසිනි.)
තෙරුවන් සරණයි…!!!
උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!