ශ්‍රද්ධාවන්ත පින්වතුනි, රජගහණුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ, වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ, එක්තරා වීදියක බෞද්ධ ළමයෙකුත්, බෞද්ධ නොවන අබෞද්ධ ළමයෙකුත් බොහොම හිතවත්ව සෙල්ලම් කරනවා. දෙන්නගෙම ගෙවල් දෙක තියෙන්නේ මූණට මූණ එකම පාරක් අයිනේ. මේ දරුවෝ දෙන්නා අතරින් බෞද්ධ දරුවා කැට ගහන ක්‍රීඩාව කරන වෙලාවේ නමෝ බුද්ධස්ස කියන වචනය කියලා කැට ගහනවා. ඒ ළමයා දිනනවා. අනික් ළමයා කියන්නේ නමෝ අරහන්තානං කියලා. ඒ දරුවාගේ දෙමව්පියෝ අදහන්නේ නිඝන්ඨනාථපුත්‍රගේ ආගම. අරහන්තානං කියන්නේ ඒකයි. ඒ ළමය පරදිනවා. මේ විදිහට දිනුම් පැරදුම් ඇති මේ ළමයි දෙන්න අතුරින් අබෞද්ධ ළමයත් හිතුවා මාත් මේක පාඩම් කරගන්න ඕනේ කියලා නමෝ බුද්ධස්ස කියන වචනය හුරු පුරුදු කරගත්තා පාඩම් කරගත්තා.
දැන් දෙන්නම තරගෙට කැට ගැසීමේ ක්‍රීඩාව කරන්නේ නමෝ බුද්ධස්ස කියලා. දෙන්නම ඉතින් ජය පරාජය පිළිගන්න සිද්ධ වෙනවා.
ඔය ඉන්න අතරේ මේ අබෞද්ධ ළමයගෙ පියා ජීවත් වන්නෙ සුළු රැකියාවකින්. ඔහු කරත්තයක් තියනවා. කරත්තේ බැදගෙන කැළෑවට ගිහිල්ලා දර කපාගෙන ඇවිල්ලා නගරෙට විකුණලා තමයි ජීවත් වෙන්නේ.
එක දවසක් ඒ පියයි පුතයි දෙන්නම ගියා කරත්තෙ බැදගෙන වනාන්තරේට. ඒ වනාන්තරේට කියන්නේ සීත වන වනාන්තරය, සීත වන කැලෑව. ඒ කැලෑව තියෙන්නේ හරියටම සොහොන් පිට්ටනියකට සමීපව. සොහොන් පිට්ටනියක් කියන්නේ සුළු පටු සොහොන් පිට්ටනියක් නෙමෙයි. දහ අට කෝටියක් ජනයා වෙසෙන නගරයේ එකම සොහොන් පිට්ටනිය තියෙන්නේ නගරයෙන් බටහිර. විශාල සොහොන් පිට්ටනියක්. ඒ කාලේ මේ අද වගේ ආදාහනය කිරීම භූමිධානය කිරීම් අඩුයි. බොහෝ සෙයින් කරන්නේ ඒ මෘත ශරීරය ගිහින් දාලා එන එකයි. කැලේ ගහනවා කියලා කියනවනේ. කැලේ ගිහින් දාලා එනවා. ඉතින් මේ කැලෑවේ බොහෝ අමනුෂ්‍යයෝ ඉන්නවා. බොහෝ වනසතුන් ඉන්නවා ඔය සීත වන කියන වනාන්තරේ.
ඉතින් මේ පියයි පුතයි දෙන්නා කරත්තය ලෙහලා ගොනුන් කෑමට ඇරියා. මේ දෙන්නා ඉතින් හැන්දෑ වෙනකාන්ම කරත්තයට දර එකතු කළා. දර එකතු කරලා ගොනුන් දෙන්න හොයාගෙන පියතුමන් යනකොට අනෙකුත් ගවයන් එක්ක මේ ගොනුන් දෙන්නා නගරයටම ගිහිල්ලා. ගොනුන් දෙන්නා සොයාගෙන එන්න ඉස්සල්ලා නගරද්වාරය වහලා. ආයේ නම් ඉතින් මොන දෙවියෙක් කිව්වත් ඒ දොරටු නම් අරින්නේ නෑ දොරටු පාලයෝ. ඒ මොකද සොරුන්ගෙන් කරදර වෙයි කියලා. ඉතින් එතුමා නගරයට කොටු උනා. ගෙදර ගිහින් ඉතින් බොහොම දුක සේ ඉන්නවා දරුවා ගැන, දරුවාට කිසි පිහිටක් නෑ. කෑමක් බීමක් නෑ. නිදාගන්නත් නෑ. එළියක් නැ. වනාන්තරේ සොහොන් බිම අයිනේ වනාන්තරේ. ඉතින් මේ දරුවාත් හැන්දෑ වෙනකන් බලන් හිටියා පියතුමන් එයි එයි කියලා. ආවෙ නෑ.
මේ දරුවා කරත්තය යට තියනවා අර කරත්තයට අවශ්‍ය උපකරණ දාගන්න ගෝනියක් වගේ එකක්. ඒකට වකුටු වෙලා නිදාගත්තා. බඩගින්නෙ නිදාගත්තා ඉතින් බොහෝම සීතලයි. ඒ එක්කම මැසි මදුරු පීඩාවයි. ඉතින් මේ අහින්සක දරුවා බුදු ගුණ සිහි කර ගෙන නිදාගත්තා. එයා බුදු ගුණ ගැන වැටහීමක් නෑ. නමුත් ඉතින් අර පුරුදු වචනේ කිය කියා නිදාගත්තා.
රාත්‍රියේ මැදියමේ ඔය සොහොන් පිට්ටනියේ මළමිණී කන්ඩ එන අමනුෂ්‍යයෝ දෙන්නෙක්. එක්කෙනෙක් දැක්කා මේ දරුවා කරත්තය යට නිදාගෙන ඉන්නවා. අනිත් එක්කෙනාට කිව්වා අද නම් උණු උණුවේ රස්නෙ පිටින් කෑමක්, ගොදුරක් තියනවා. ඒ අමනුෂ්‍යයෝ දෙන්නගෙන් එක්කෙනෙක් දැන දැන පව් කරන්නේ නෑ. ඔහු සම්මාදිට්ඨිකයි. අනිත් එක්කෙනා බොහොම නපුරුයි. ඉතින් ඒ සම්මාදිට්ඨික අමනුෂ්‍යයා, යක්ෂයා කිව්වා ඔය දරුවට නං අත ගහන්ඩ යන්ඩ එපා, ඔය දරුවා බුදු ගුණ දන්න කෙනෙක්නම් ඔබට දඩුවම් ලැබෙයි. කියලා වහාම එයින් වෙන් කරගෙන ගියා සොහොනට. නමුත් ඉතින් මේ දෙන්නා තැන් තැන්වල ඇවිදින කොට අර දුර්දාන්ත අමනුෂ්‍යයා කොහොමහරි අනික් එක්කෙනාට නොපෙනී ගියා දරුවා ලඟට, ගිහිල්ලා ඒ ළමයගේ කකුළෙන් ඇල්ලුවා.
ඒ ළමයා තිගැස්සිලා අවදි උනේ නමෝ බුද්ධස්ස කියලා. ඇත්ත වශයෙන්ම ඒ අමනුෂ්‍යයා පුදුම විදිහෙ තැති ගත්තා. මේ බුද්ධ කියන වචනේ පුදුම ආනුභාව ඇති වචනයක්. අමනුෂ්‍යයන් බොහෝම බයයි. මේ බුදු ගුණයට. නපුරු අමනුෂ්‍යයෝ බොහොම බයයි. ඉතින් ඒ වෙලාවේ ඒ අමනුෂ්‍යයා තැතිගන්න, වෙව්ලන්න ගත්තා. අනිත් එක්කෙනා දැකලා කිව්වා ඕක නේනනම් මන් කිව්වේ ඇයි මේ අහින්සක දරුවගේ පයෙන් ඇල්ලුවේ. මේ දරුවා බුදු ගුණ කියන දරුවෙක්නෙ. වහාම දඩුවම් ලබන්න ඕනේ. නැත්නම් වෛශ්‍රවන දිව්‍ය රාජයාගෙන් දඩුවම් ලැබෙනවා. ඒ නිසා මව්පියන්ගේ වේශයෙන් අපි දෙන්නා ඉන්න ඕනේ.
ඔබ ගිහිල්ලා වහාම රජ වාසලෙන් දරුවාට ආහාර ගෙනල්ලා කවන්න ඕනේ. දැන් බඩගින්නේ ඉන්නේ. ඉතින් මේ දෙන්නා මව්පියන් වේශයෙන් පෙනී හිටියනේ. ඒ වෙලාවේ මේ දරුවාට කිසි භයක් නෑ. කිසිම භයක් නෑ ඉතින් අම්මා තාත්තා ඉන්නවා. එයින් එක්කෙනෙක් ගියා. ඒ ඇත්තන්ට අහසින් යන්න පුලුවන්නේ. රජ්ජුරුවන්ගේ රන් තලියටම රාජ භෝජන ගෙනත් කැව්වා. මේ දරුවා හොඳට කෑම කාලා සන්තෝසෙන් නිදාගත්තා.
ඊට පස්සේ මේ අමනුෂ්‍යයෝ දෙන්නා එලිවෙනකන්ම එතනින් යන්නේ නැතුව දරුවා ආරක්ෂා කළා. අර රන් තළියේ පිට පැත්තේ ලියලා තිබ්බා මේ සිද්ධිය. මේ විදිහෙ මේ බුදු ගුණ දන්න දරුවෙකුට අමනුෂ්‍යයෝ දෙන්නෙක් ඇවිල්ල එක්කෙනෙක් කරදර කළා. ඊට පස්සේ ඒ ඇත්තෝ දඩුවම් විදීමක් වශයෙන් මේ දරුවාට රාජ භෝජන ගෙනල්ලා මේ රන් තලියෙන් කෑම දුන්නා. ඒ නිසා මේ දරුවගේ වරදක් නෑ. අමනුෂ්‍යයන්ගේ කටයුත්තක් කියලා පිටපැත්තේ ලියලා තියලා කරත්තය උඩ තියලා ඒ ගොල්ලෝ අතුරුදහන් උනා.
උදේ එලිවෙනකොට මව්පියෝ දෙන්නා නෑ. නමුත් දරුවා දැන් හිතින් කිසි භයක් නෑ. සුවසේ අවදි උනා.
එතකොට පියතුමාටත් උදේ නියමිත වෙලාවට ගේට්ටුව ඇරලා ඉතින් මේ රෑ තිස්සෙ නින්දක් නැතුව දරුවා ගැන දුකෙන් වේග වේගයෙන් ගවයන් දෙන්නා එක්කරගෙන ආවා. ඇවිල්ලා මේ කරත්තේ ලඟට එනකොට මේ දරුවා බොහොම සිනා වේගෙන ඉන්නවා. ඉතින් කතා කලා කොහොමද රෑ නින්ද ගියාද? ඉතින් කිව්වා, මේ අම්මා, තාත්තා මන් ලගට ආවා. මට කෑමත් දුන්නා. කෑම දීපු භාජනය මෙන්න මේ කරත්තය උඩ ඇති. ඉතින් මන් බොහොම සැපෙන් හිටියා කියලා.
මේන්න මේක නිසා අපි සිතන්න ඕනේ.
අපි වැඩි වැඩියෙන් මේ උත්තරීතර බුදු ගුණ භාවනාව කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අධිෂ්ඨාන කරගන්න ඕනේ. යෙදෙන්න ඕනේ…
සාදු සාදු සාදු
අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි.