බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරයාට ගොදුරු නොවන බිම සතර සතිපට්ඨානයයි කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා.
අතීතයේ පුංචි කැටකිරිල්ලියක් සිටියා. ඇය හරිම කටකාරයි, දඟකාරයි. හරියටම අපේ සමහරක් තරුණ, තරුණියෝ වගේ. කැටකිරිල්ලි පුංචි කාලයේ අම්මා, තාත්තට කීකරු වුණත් වටපිටාවේ අනෙක් කුරුල්ලෝ සමග සමාජ ආශ්‍රය ලබද්දි කැටකිරිල්ලි ටිකක් වැඩිහිටියන්ට අකීකරු වුණා.
පංච උපාදානස්කන්ධ ලෝකයේ වියරුභාවය ගැන දැනුම තේරුම තිබුණ කැටකිරිල්ලියගේ දෙමාපියන් කැටකිරිල්ලියට අවවාද කළේ කුඹුරු යායේ පෙරලූ පස් කැටයේ සීමාවෙන් එහාට යන්න එපාය කියලා.
කැටකිරිල්ලියගේ තාරුණ්‍යයත් සමග ජීවිතයට ගලාගෙන පැමිණි කාමයේ ආශ්වාදය සහ රූපයේ ආශ්වාදය ඉදිරියේ කැටකිරිල්ලිය දෙමාපියන්ගේ අවවාදයන් තැකුවේ නැහැ.
පුංචි කැටකිරිල්ලිය තාරුණ්‍යයෙන් මත් වී ආකාශයේ සිත්සේ පියාඹන්න පටන් ගත්තා. මෙතෙක් පස් කැටයේ සීමාවට කොටු වී සිටි කැටකිරිල්ලියට දැනුණේ තමා මුළු ලෝකයම දිනුවාය කියලයි.
ඇය සිතෙන් තම දෙමාපියන්ට චෝදනා කළා. අපේ අම්මා, තාත්තලා හරිම මෝඩයි. සැපක් කියලා දුකක්මයි විඳින්නේ. මෙච්චර සුන්දර ලෝකයක් තිබෙනවා, ඒ අය මේ සුන්දරත්වය භුක්ති විඳින්නේ නැහැ. මේ ආකාශය, මේ සුළං රැල්ල, මේ නිදහස හරිම ප්‍රණීතයි. කැටකිරිල්ලිය ආශ්වාදයෙන් මත් වී සිත්සේ පියඹා ගියා.
පංච උපාදානස්කන්ධ ලෝකයේ බියකරු බව නොදැක්ක කැටකිරිල්ලිය ඇයගේ පසුපසින් අනතුරක් එන බව ඇය දැනගෙන සිටියේ නැහැ. අවිද්‍යාවේ ආශ්වාදය ඇයගේ සිහිය විකල්කොට දමලයි තිබුණේ. ආශ්වාදයෙන් මත් වූ මෝඩ කිරිල්ලිය දැක්ක උකුස්සෙක් තම තියුණු නියපොතු සහිත දෙපා වලින් කැටකිරිල්ලිව ගොදුරුකොට ගත්තා.
මරණීය අනතුර ඉදිරියේ කැටකිරිල්ලිය තම දෙමාපියන්ගේ අවවාදය මතක් වුණා. කැටකිරිල්ලිය තමන් ඩැහැගත්ත උකුස්සාට කියනවා දෙමාපියන් මට පැවරූ ගොදුරු බිමේ මම සිටියා නම් කවදාකවත් ඔබට මාව ගොදුරුකොට ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැය කියලා.
හැඩිදැඩි උකුස්සා මාන්නාධික උකුස්සෙක්. කැටකිරිල්ලියගේ කතාව මාන්නාධික උකුස්සාට ලැජ්ජාවක් වුණා. උකුස්සා කැටකිරිල්ලිව තම ග්‍රහණයෙන් මුදා උකුස්සා කැටකිරිල්ලියට කියනවා හොඳයි ඔබ ඔබේ දෙමාපියන් පැවරූ කුඹුරේ පෙරළන ලද පස් කැටයට යන්න. එතනදිත් මම ඔබව ඩැහැගන්නවාය කියලා.
ලැබුණු නිදහස ප්‍රයෝජනයට ගත්ත කැටකිරිල්ලිය වේගයෙන් පියඹාවිත් කුඹුරේ පස් කැටය මත සැඟවී ගත්තා. කැටකිරිල්ලිය පසුපස හඹා පැමිණි මාන්නාධික උකුස්සා එම පස් කැටයේ හිස වැදී මියපරලොව ගියා. තමන් මුහුණදුන් මරණීය අත්දැකීමෙන් මොනවට පාඩම් ඉගෙනගත් පුංචි කැටකිරිල්ලිය ඉන් පසුව කවදාකවත් තම වැඩිහිටියන් ඉගැන්වූ ගොදුරු බිමෙන් බැහැරව ගියේ නැහැ.
මරණීය අනතුරු එකක් නොව දස දහස් ගණනක් සමාජය තුළ සිද්ධ වුණත් පුංචි කැටකිරිල්ලිය ඉගෙනගත් පාඩම සුන්දර මනුෂ්‍යයන් වන අපිට තවමත් ඉගෙන ගන්න බැරිවෙලා තිබෙනවා.
පිංවත් ඔබ ගිහි වේවා, පැවිදි වේවා ඔබ දන්නවාද මේ පංච උපාදානස්කන්ධය වියරු ලෝකය ඉදිරියේ ඔබේ ආරක්‍ෂාකාරී ගොදුරු බිම උතුම් සතර සතිපට්ඨාන භූමියයි කියලා.
ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා කාමයන්ට ගොදුරු නොවන බිම වෙන්නේ රූපාවචර සහ අරූපාවචර භූමියයි කියලා. මේ රූපාවචර සහ අරූපාවචර භූමියත් මාරයාට අයිති ගොදුරු බිම් දෙකක්මයි.
රූපාවචර සහ අරූපාවචර භූමි දෙක පිංවත් ඔබව පංච නීවරණයන්ගෙන් ආරක්‍ෂාකොට වේදනාවේ ආශ්වාදය වන සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයන් තුළ ස්ථානගත කරනවා.
උතුම් බුද්ධෝත්පාද කාලයක සුන්දර බෞද්ධයෙක් වෙලා ඉපදීම දුර්ලභ කාරණයක් වෙනවා. මේ දුර්ලභ කාරණය අපි ප්‍රයෝජනයට ගත යුත්තේ මාරයාගේ ගොදුරු බිම වන පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදීමට මිස දැනුම වර්ධනය කොටගෙන විතර්කයන් සහ මතවාද, දෘෂ්ටි අතර සිරකරුවෙක් වීමට නම් නොවේ.
ධර්මාවබෝධය උදෙසා දැනුම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. නමුත් පිංවත් ඔබේ දැනුම අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන්ගෙන් පෝෂණය විය යුතුව තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නොවූ දැනුම, ධර්ම දැනුමේ සක්කාය දිට්ඨිය දෙසටයි අපිව යොමු කරන්නේ. ධර්ම දැනුමේ සක්කාය දිට්ඨිය ඇතිකොටගත් පිංවතා තම ධර්ම දැනුම උපයෝගී කොටගන්නේ අනුන් සමග වාද විවාද සහ අනුන්ව දෙවැනි තැනට ඇදදැමීම උදෙසාමයි.
භික්ෂුවට මුණගැසුණ දැනුමෙන් පොහොසත් මහත්මයෙක් ප්‍රකාශ කළේ මම තවමත් නිවැරදි ධර්මය මොකක්ද කියලා සොයනවාය කියලායි.
උතුම් ධර්ම මාර්ගයේ බොහෝම උද්‍යෝගයෙන් ගමන් කරන ගිහි, පැවිදි පිංවත් ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්ටු කරලා අහන්නකෝ පිංවත් ඔබ තුළ ඉහත සුදුසුකම් ස්ථානගත වෙලා තිබෙනවාද කියලා. ඉහත සුදුසුකම් වලින් අපි තවමත් දුර්වල නම් මේ උතුම් ධර්මය දරාගන්න අපි තවම සුදුසුකම් ලබලා නැහැ. ඉහත අර්ථය ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයටම පොදු ධර්මතාවක් වෙනවා.
මේ උතුම් ධර්මය අවබෝධයෙන්ම දරාගැනීමට නම්, පිංවත් ඔබ සතුවිය යුතු මූලිකම සුදුසුකම වෙන්නේ අල්පේච්ඡභාවයයි. මධ්‍යම ප්‍රතිපදාවෙන් උපදින අල්පේච්ඡභාවය පිංවත් ඔබට මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා අවශ්‍ය අවම අවශ්‍යතාවන් ජීවිතයට එකතුකොට දෙනවා.
අල්පේච්ඡභාවය අපෙන් ගිලිහී ගියොත් ධර්මාවබෝධය ජීවිතයට එකතුකොට ගැනීමට අවශ්‍ය අනෙක් සියලුම ගුණාංගයන් ඉදිරියේ ප්‍රශ්නාර්ථයක්මයි තබන්නට වෙන්නේ.
පිංවත් ඔබ අල්පේච්ඡභාවය ජීවිතයට එකතුකොටගත යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණය තුළින්මයි. එසේ නොවුණොත් අල්පේච්ඡභාවය තුළ මම දකිනවා. මා තුළ අල්පේච්ඡභාවය දකිනවා. අල්පේච්ඡභාවය මගේ ආත්මය කොට දකිනවා. ඒ ආත්මය තුළ මම ඉන්නවාය කියලා දකිනවා. එවිට ඔබේ අල්පේච්ඡභාවය සක්කාය දිට්ඨියමයි පෝෂණය කරන්නේ.
අල්පේච්ඡභාවය තුළ මම සුවසේ වැඩෙනවා. තමන් වැඩ සිටින මැටි කුටිය තුළත්, පාංශකූල චීවරය තුළත්, එක වේලක් යැපෙන පිණ්ඩපාතය තුළත්, අරළු, බුළු, නෙල්ලි ඖෂධ තුළත් මගේ අල්පේච්ඡතාව බැසගෙන තිබෙනවා. අල්පේච්ඡභාවය අපි මාරයාගේ ගොදුරු බිමක් බවටම පත්කොට ගන්නවා.
සාංඝික දානමය පිංකමක් සිදුකිරීමේදී තිබිය යුතු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, සියතින් සකසා දන්දීම, ප්‍රතිභාව දන්දීම කියන කාරණාවන් වෙනුවට මෙවැනි මෝස්තර දානයන් නිසා පිංවත් ඔබට හිමිවන්නේ කාමච්ඡන්දයක් පමණක්ම විය හැකිය.
යම් ගිහි පිංවතෙක් කවර කුලයකින් වුව ද ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව පංච නීවරණ ධර්මයන් යටපත් කොටගෙන උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ට අනුව යමින් ජීවත්වෙන මහා සංඝරත්නයට පූජාකරන සිවුපසය මහත්ඵල මහානිසංස වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අහස ගුගුරුවමින් කඩා හැළෙන මහා වැස්සක්, පොළොව තෙමන්නේ, ගංගා ඇළ දොළ පිරී යන්නේ යම් සේද සැදැහැති ඇසූපිරූ තැන් ඇති නුවණැත්තා තමන් විසින්ම බොජුන් පිළියෙල කොට සංඝයාට පූජා කරනවා. එවැන්නෝ සතුටින් විසිරුවන්නාක් මෙන් දන් දෙනවා. දන්හලෙහි හැසිරෙමින් “දෙව, දෙව” යැයිම කියනවා. වසිනා වැස්සක ඝෝෂාව මෙන්ම එය දන්දෙන්නාගේ ඝෝෂාව වෙනවා. ඒ මහත් වූ පිං දහර දන් දෙන්නහු මැනවින් තෙමනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.