තෘෂ්ණාවේ “කිරි මුල්” සිඳ දැමීම කළ හැක්කේ කෙසේද?

– මහ රහතුන් වැඩි මඟ ඔස්සේ…
අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සද්ධර්මයට දායාද වෙන්න, ශීලයට, සමාධියට, ප‍්‍රඥාවට, ඥාණදර්ශනයන්ට, විමුක්තියට දායාද වෙන්න කියලා. ඔබලාගේ ශාස්තෘන්වහන්සේ උතුම් නිකෙලෙස් විවේකයෙන් ගතකරත්දී මාගේ ශ‍්‍රාවකයින් වන ඔබලා අවිවේකයෙන් නොහික්මෙන්න එපාය කියලා. උතුම් සංඝ සමාජයේ අපිට රට, ජාතිය, ආගම, පන්සල, ආරණ්‍යය, සමාජ වගකීම්, මේවා නිසා විවේකය ගොඩාක් අඩුයි. මේ දවස්වල කොරෝනා ඇඳිරි නීතිය නිසා, ලොකු විවේකයක් අපිට ලැබිලා තිබෙනවා. නමුත් ඒ විවේකයත් අපි ගත කරන්නේ, මරණ බියෙන් නම්, රෝග බියෙන් නම්, සැකය විසිරුණු සිතින් නම්, කොරොනාව නිසා අපිට ලැබුණු විවේකයත්, ධර්මානුකූලව කෙලෙස් වඩන අවිවේකයක්මයි.
ධර්මානුකූලව අපි විවේකයක් ලැබුවාය කියන්නේ, කාම්ච්ඡුන්ද, ව්‍යපාද, තීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා පංචනීවරණ ධර්මයන්ගෙන් තාවකාලිකව හෝ මිදි, සම්මා සමාධිමත් සිතින් වාසය කිරීමයි. අපි දවසේ පැය විසි හතරම, කුටියට වෙලා විවේකීව, කාම සිතුවිලි වඩනවා නම්, ද්වේශ සිතුවිලි වඩනවා නම්, ලෝභ සිතුවිලි වඩනවා නම්, අපේ ජීවිත අන්ත අවිවේකි ජීවිතයකි. පිංවත් ඔබ ලෝභ, ද්වේශ, මෝහ, සිතුවිලි ඔස්සේ තෘෂ්ණාව පෝෂණය කරන මොහොතක් පාසාම, තෘෂ්ණාව හේතුවෙන් උපාදානයද, උපාදානය හේතුවෙන් භවයද, ඔබ තුලින්ම පටිච්චසමුප්පන්නව පෝෂණය කරනවා. ඔබ විවේකයෙන් කුටියේ සිටියාට තෘෂ්ණාවෙන්, නිත්‍ය, සැප, සුභ, ආත්මීය, සංඥාවෙන්, යම් රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණ ධර්මයන් අල්ලා ගන්නා මොහොතේදී, ඔබ භවයට දුවමිනුයි සිටින්නේ. ඔබට නොතේරුනාට ඔබ භව ගමනේ හති දමමිනුයි සිටින්නේ. විවේකි-කුටියෙත්, විවේකි-කාමරයෙත් අපි ලබන අවිවේකය එයයි.
මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, නොසැලෙන, නොකැඩෙන නික්ලේෂී අර්ථවත්ම විවේකයක් තිබෙනවා. ඒ විවේකය තමයි, අවිද්‍යාව නිරෝධය කිරීමෙන්, බුදුරජාණන්වහන්සේ, ඇතුළු මහා රහතන්වහන්සේලා ලබන ආර්්‍ය විවේකය. අවිද්‍යාව ප‍්‍රහිනය නොකල භික්ෂුවක් ලබන සම්මා සමාධියේ ධ්‍යානගත විවේකය, අනාර්්‍ය විවේකයක්. එය කැඩෙන විවේකයක්, සැලෙන විවේකයක්, වේදනාවේ ආශ්වාදය හේතුවෙන් රූපාවචර සහ අරූපාවචර උපාදානයන්ට බැඳී යන, ඒ බැඳීයාම නිසාම නැවත භවය, ජාති, ජරා, මරණ, ව්‍යාධි, පෝෂණය කරන විවේකයක්. ඒ කියන්නේ මාරයාගේ ඇස වසා භව ගමනේ දුවන විවේකයක්.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේලා, උතුම් මහරහතන්වහන්සේලා සතු ආර්ය විවේකය, පටිච්චසමුප්පාද ක‍්‍රියාවලිය නිරෝධය කල විවේකයක්. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් එකතුව සකස්වෙන, ඵස්සය ඉදිරියේ තෘෂ්ණාවේ “කිරි මුල්” පවා විනාශකොට දැමූ පංචඋපාදානස්කන්ධ ලෝකය තුල නොදුවන, ඒ නිසාම හති නොදමන ආර්ය විවේකයක්. ඔබ ලබන අනාර්ය විවේකයේදි ඇලීම් සහ ගැටීම් දෙක තාවකාලිකව යටපත්කොට, උපේක්ෂාව පෝෂණය කරන අතර, ඔබ ලබන ආර්ය විවේකයේදි, ඇලීම්, ගැටීම් උපේක්ෂා ධර්මයන් තුනම නිරෝධය කොට දමනු ඇත.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ආර්ය විවේකයෙන් වැඩ සිටියදි, ශ‍්‍රාවක භික්ෂූන් වන අපි කෙසේද විවේකයෙන් හික්මිය යුත්තේ. කෙසේද ඊට මාර්ගය මතුකොට ගත යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට තිබෙනවා.
ශාස්තෘන්වහන්සේ විසින් පිංවත් භික්ෂූන් වන අපිට යම් ධර්මයක් ප‍්‍රහාණය කර දමන්න යැයි දේශනා කොට තිබේනම් එම විනාශකාරි ධර්මයන් ප‍්‍රහාණය කොට දමන්න. ශාස්තෘන්වහන්සේ කුමන ධර්මයන්ද ප‍්‍රහාණය කොටදමන්න කියලා අපිට කියන්නේ, අසත්පුරුෂ ආශ‍්‍රය, අසද්ධර්මයන්, අනුවනින් මෙනෙහි කිරීම, අපේ භික්ෂු ජීවිත වලින් බැහැර කරන්න. අසත්පුරුෂ පුද්ගලයා තමා පමණක් නොවේ, වැරදි ධර්මයන්, විකෘති ධර්මයන්, වැරදි ප‍්‍රතිඥාවන් දේශනා කරලා අනුන්වත් විනාශකොට දමනවා.
උතුම් තෙරුවන් සරණ කෙරෙහි සැක උපදවන, තෙරුවන්ගේ උතුම් ගුණයන් විකෘති කරන, උතුම් විනය ධර්මයන් අඩු තක්සේරුවකට දමන, මාර්ගඵල උන්මාදය ඉහ වහා ගිය, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන, මිච්ඡුා දෘෂ්ඨිය ජීවිතවලින් බැහැර කරන්න, ප‍්‍රහාණය කරන්න.
වැඩිහිටියන්ට ගරු නොකරන, තමා තමාටම හිංසා පීඩා කොටගන්න, නෙක්ඛම්මය වඳ බැස්සාවූ, වචනයේ සංවරභාවයක් නැති, මිච්චා ආර්ය අශ්ටාංගික මාර්ගය, අපේ භික්ෂු ජීවිත වලින් ප‍්‍රහාණය කරන්න. උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ මිච්චා සතිය, මිච්චා සමාධිය අපේ භික්ෂු ජීවිතවලින් ප‍්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අපගේ භික්ෂු ජීවිත තුල වැඩෙන ශීල විශුද්ධියේ සහ චිත්ත විශුද්ධියේ, දුර්වල භවයන් නිසාම, අපි අපේ ජීවිතවලට ගලපා නොගන්නා උතුම් පටිච්ච සමුප්පාද ධර්මයන්, පංචඋපාදානස්කන්ධ ධර්මයන් හේතුවෙන් සකස්වෙන දිට්ඨි විශුද්ධියේ දුර්වලභාවයන් හේතුවෙන් අපි තුළ බුර බුරා වැඩෙන සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකින නිවන් මාර්ගය අවහිර කරන පළමු කඩඉම, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ අන්‍යශීලවෘතයන් වහ වහා අපේ භික්ෂු ජීවිතවලින් ප‍්‍රහාණය කොට දමන්නය කියලා, බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවක අපිට සිහිපත් කොට දෙනවා.
පිංවත් ඔබට, අධිමාන්නයේ කිරුළු පළඳවන නෙක්ඛම්ම සංකප්පය වඳ බැහැපු තැන, ලෞකික ප‍්‍රඥාව දුර්වල වූ තැන, සරුසාරව වැඩෙන සක්ඛාය දිට්ඨියේ කුණු හැව, පිංවත් ඔබ පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ සහ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ උපකාරයෙන් නිරෝධය කොට උතුම් සෝවාන්ඵල අවබෝධය අවංකව ලැබුවාට පසුව, ඔබේ ඊළඟ අභියෝගය වෙන්නේ කාම, රාග, පටිඝ ධර්මයන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය තවදුරටත් දකිමින්, මේ කාම, රාග, පටිඝ ධර්මයන් ප‍්‍රහාණය කරන්නය කියලා.
පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය තවදුරටත් දකිමින් කාම, රාග, පටිඝ ධර්මයන් නිරෝධය කළ අනාගාමී අවබෝධය ලැබූ පිංවතාට ඉතිරිව ඇති, අනුශය අවිද්‍යාව තවදුරටත් පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම ඒ අවිද්‍යා අනුශය ප‍්‍රහාණය කොට දමන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්, උතුම් රහතන් වහන්සේලාත් අතීතයේ විවේකීව, ආර්ය විවේකයෙන් වැඩ සිටියේ, ඉහත පළිබෝධ ධර්මයන් තම ජීවිත තුළින් ප‍්‍රහාණය කොට දැමූ නිසාමයි.
දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, ලිහිල් කොටගන්න එපාය කියලා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ පටන් තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔස්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පටිච්චසමුප්පන්නව බෝධිසත්වයන් වහන්සේ සිදුකරන ලද මහා පරිත්‍යාගයන් ලිහිල්කොට දකින්න එපා.
මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා, මහ පොළොවේ පස්වලට වඩා ශරීර මාංශ දන්දීලා, දස පාරමී ධර්මයන්ගේ ශක්තියෙන් පෝෂණය වූ ශාසනයක්. සක්විති රජ පදවි දහස් ගණනක් දන්දීලා පෝෂණය කළා වූ ශාසනයක්. භවාත‍්‍රයේ සියලූම සත්වයින්ට ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකෙන් මිදීම උදෙසා, භව නිරෝධය උදෙසා අර්ථවත්ව ස්ථානගත කළ ශාසනයක්. මේ ලෝක ධාතුවේ බලයට අධිපති වසවර්ති දිව්‍ය පුත‍්‍රයාගේ බලයේ අණසක බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශීලයෙන්, ආර්ය සමාධියෙන්, ආර්ය ප‍්‍රඥාවෙන් බල රහිත කොට පිහිටවූ ශාසනයක්. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශිලයන් පනවා, වසර දෙදහස් හයසියයක් දීර්ඝායුෂ ලබාදුන් ශාසනයක්. මේ උතුම් සම්මාසම්බුද්ධ ශාසනය අයිති ලොව්තුරා බුදුරජාණන් වහන්සේටමයි. උන්වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයටමයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, චතුරාර්ය සත්‍ය ධර්මයන් මුල් කොට දේශනා කළා වූ ශාසනයක්. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දී කුමක නිරෝධය ද, කුමක විනාශය ද දේශනා කරන්නේ, පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ නිරෝධයයි. තෘෂ්ණාවේ නිරෝධය මූලික කොටගත්, ගුරු කොටගත් ශාසනයක්. ශ‍්‍රාවක භික්ෂූන් වන අපි චීවර, පිණ්ඩපාත, සේනාසන, ඖෂධ, චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථයන්ට යටත්වයි පරිහරණය කළ යුත්තේ. අපිට ලැබෙන සිව්පසය තෘෂ්ණාවේ වර්ධනය උදෙසා නම් හේතුවෙන්නේ, අපි සම්මා සම්බුද්ධ ශාසනය ලිහිල් කොට ගත්තා වෙනවා.
ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකෙන් මිදීම උදෙසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකම පිහිට මඟහැර, ජාති, ජරා, ව්‍යාධි, මරණම පෝෂණය කරන තෘෂ්ණාව පසුපසම හඹායනවා නම්, අපි ශාසනය ලිහිල් කොට ගත්තා වෙනවා.
මෙය සටහන් තබන භික්ෂුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලිහිල්කොට දකින්න හරිම බයයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ට, එක දශමයකින් හෝ භික්ෂුව අඩුවක් කරන්නේ නැහැ. භික්ෂුවගේ එකම ඉලක්කය තෘෂ්ණාව ප‍්‍රහාණය කිරීමයි. එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ, උදේ, රාත‍්‍රී ගෙවීයන්නේ ඉහත අර්ථයන් දෙක තුළයි. ඔය අර්ථයයි ශාසනය ලිහිල්කොට නොගත්තා වෙන්නේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ලිහිල් කොට නොගැනීමේ සන්දිට්ඨික විපාකයක් තිබෙනවා. ඒ විපාකය තමයි, එම භික්ෂුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහිත් තෘෂ්ණාවෙන් බැහැර වෙනවා.
සංස්කාරයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනයත් දකිනවා. සියලූ සංස්කාරයෝ අනිත්‍ය වී යනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ. භික්ෂුව මොකුත්ම නොදනිමි. මේ දැක්ම තුළයි ශාසන අර්ථයන්, තමන් තුළ වැඩෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පිංවත, පෙර මහා පිනකට අපිට ලැබුණ ශාසනය ලිහිල් කොට ගන්න එපා. හදවතින් නික්ලේෂි සිතින්, සෑම මොහොතකම, තෙරුවන්ට වන්දනා කරන්න. මේ උතුම් ශාසනයට කෘතවේදී වෙන්න. දිනපතා තෘෂ්ණාවෙන් බිඳක් හෝ සියුම් කොටගන්න. අපි ශාසනය ලිහිල් කොට තැකුවොත්, කල්ප ගණනාවක් අපිට බුදුරජාණන් වහන්සේ නමකගේ මහා කරුණාව නොලැබී යාවී, අපිට අපේ ජීවිතවලින් ජීවත්වීම සඳහා ඉතිරිව තිබෙන්නේ බොහොම කෙටි ජීවිත කාලයයි. ඒත් අපි ප‍්‍රමාද නැහැ. දැන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් ට අදාලව, දුකට එකම හේතුව තෘෂ්ණාව බව සිතන්න. ලැබෙන සිව්පසය ප‍්‍රත්‍යවෙක්ෂාවෙන් යුතුව පරිහරණය කරන්න.
අපිට සිව්පසය පිරි ඉතිරී යන්න ලැබෙන්නේ පෙර පින නිසාමයි. ඒ නිසා ලැබෙන සිව්පසය තෘෂ්ණාව තුළ නොව, කර්මය කර්මඵල විශ්වාසය තුළ විදර්ශනාත්මකව විසුරුවා දකින්න. අතීත භව ගමනේ කල්ප සියක්කෝටි ප‍්‍රකෝටි ගණනක පටිච්චසමුප්පන්න ඥාතිත්වයක් තෘෂ්ණාව නමැති පාපමිත‍්‍රයා සමඟ අපි බැඳී ඇවිත් තිබෙනවා. වරෙක තෘෂ්ණාව සල්ලාලයෙක්, තවත් වරෙක තෘෂ්ණාව ශිල්වතෙක්, ශාන්තුවරයෙක්, තවත් වරෙක තෘෂ්ණාව ධ්‍යානලාභියෙක් බවට සංස්කාරයන්ට අදාළව වෙස්මාරු කොට ගන්නවා.
සතර අපායේ සත්වයාත්, මනුෂ්‍යයාත්, දෙවියාත්, බ‍්‍රහ්මයාත් තෘෂ්ණාවේම ඵලයක් නම්, තෙරුවන්ගෙන් තොර අබුද්ධෝත්පාද කාලයක දී තෘෂ්ණාවේ අසත්පුරුෂභාවය අපි කෙසේ නම් හඳුනාගන්න ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් දවසක් එනවා මහා සාගරය සිඳී වියලි යන, යම් දවසක් එනවා මහපොළොව අළු දූවිලි බවට පත්වෙන. නමුත් අවිද්‍යාව මුල් කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සංසාරයේ දුවන සත්ත්වයාගේ දුක කෙළවර කිරීමක් ගැන මම නොකියමිය කියලා.
අතීත සංසාරයේ සිට පටිච්චසමුප්පන්නව දුවන සත්වයාගේ මුල් කෙළවර, ආරම්භය, කාටවත්ම පෙනෙන්නේ නැහැ. කාටවත්ම සොයන්න බැහැ. අවිද්‍යාවේ ඝන අඳුරෙන් වැසිලයි තිබෙන්නේ. පිංවත් ඔබ මොහොතක් දෑස් දෙක පියාගෙන ඉහත සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න. ඒ චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දැක්කාවූ සිතත් ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න. එවිට පිංවත් ඔබට සක්සුදක් සේ වැටහේවි ලෝකයේ මුලත්, ලෝකයේ අගත් යන දෙකම, මේ ජීවිතය නැමැති නාම රූප ලෝකය තුළ තිබෙනවාය කියලා.
ප‍්‍රඥාවේ අන්ධභාවයෙන් උපන් අවිද්‍යාවේ දෑස්, ලෝකයේ මුලත්, ලෝකයේ අගත් මහ මෙරක් සේ සංකීර්ණකොට පෙන්වූවත්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලිහිල් කොට නොගන්නා වූ “ආර්ය ශ‍්‍රාවකයා” සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් උපදින ප‍්‍රඥාවේ ඇසින්, මොනවට සැක හැර අවබෝධකොට ගන්නවා. ලෝකයේ මුලත්, ලෝකයේ අගත්, ලෝකයේ නිරෝධයත් මේ ජීවිතය තුළම, ජීවිතය තුළින් ක‍්‍රියාත්මකවෙන පටිච්චසමුප්පාද ක‍්‍රියාවලිය තුළම තිබෙනවාය කියලා.