ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම, උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම, ශ්‍රවණය කළාවූ සද්ධර්මයට අදාළ මාර්ගය නිවැරැුදිව පුහුණුකොට විදර්ශනාත්මක අවබෝධයක් සාක්ෂාත් කොට ගැනීම, මේ ලෝකධාතුවේ ඇති දුර්ලභම කාරණා තුනය කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉහත දුර්ලභ කාරණා තුන වගේම තවත් දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුව තුළ තිබෙනවාය කියලා. එම දුර්ලභම අර්ථය තමයි, කෘතවේදී භාවය. කෘතවේදී භාවය කියන්නේ කෙළෙහිගුණ සැලකීම.
මුලින්ම පින්වත් ඔබ කෘතවේදී භාවය ඇති කොට ගත යුත්තේ ඔබ තුළින් ඔබට මයි. අතීත කුසල් සංස්කාර හේතුවෙන් ම මා තුළ ඇතිවුණා වූ උතුම් නිහතමානී භාවයට කෘතවේදී භාවයට පෙරළා මට දියහැකි උතුම්ම තෑග්ග වන සතර අපායෙන් මිදුණු ජීවිතයක් බවට මගේ ජීවිතය පත්කොට ගන්නවා ය කියන අධිෂ්ඨානය ඇති කොට ගන්නවා. තමා තමාට කෘතවේදී වෙනවා.
පින්වත් ඔබ තවම සතර අපායෙන් මිදී නැතිනම් ඔබ ඔබේ ජීවිතයට තවම කෘතවේදී භාවය දක්වා ගෙන නැහැ. ඔබ ඔබට අසත්පුරුෂයෙක්. දැන දැන පටිච්ච සමුප්පන්නව, ඔබම සතර අපා දුකට යනවා. දෙවැනිව පින්වත් ඔබ කෘතවේදී වෙන්න ඕනේ, බුද්ධරත්නයට, ධර්මරත්නයට, උතුම් සංඝරත්නයට මේ දුර්ලභ තුන් සරණ ලෝකයට පහළ වීම උදෙසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක පාරමී ගමනට ඒ අයෝමය යුග මෙහෙවරට, ඔබ කෘතවේදී වෙන්න ඕනේ.
පින්වත් ගිහි පින්වතකුට, බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි උතුම් ම කෘතවේදී භාවය මේ ජීවිතයේදී ම උතුම් සෝවාන් ඵල අවබෝධයයි. බුදුරජාණන් වහන්සේගේ ඇකයේ උපන් දරුවෙක් බවට පත්වීමයි. අපි මොන තරම් සද්ධර්මය ශ්‍රවණය කළත්, ධර්මය ධර්මානුකූලව නුවණින් දකින්නෙ නැති නම්, අපිට ඉහත ධර්මතාවන් ගැන සතිය සිහිය ඇති වෙන්නේ නැහැ. පණ්ඩිතකම්, මාන්නය, ලොකුකම්වලින්, වෙළා ගන්නවා. එහි ඵලය සක්කායදිට්ඨියයි. ගමන සතර අපාය දෙසටයි. පින්වත් ඔබෙන් ඔබ ප්‍රශ්න කරන්න, කවදාද මම, මට කෘතවේදී භාවය ඇතිකොට ගන්නේ කියලා.