තෙරුවන් සරණයි… මේ බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්ප බුද්ධං පබුජ්ජංති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් සැපසේ නින්ද යනවා. බොහෝම සැපසේ නින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරු සිහින නොදකින්නෙක් වෙනවා. කවදාක්වත් සිහිනෙකින්වත් බයක් තැතිගැනිල්ලක් ඇති වෙන්නේම නෑ. ඒ වගේම සිහිනෙකින්වත් අකුසල සිතිවිල්ලක් වත් පහළ වෙන්නේ නෑ. ඒ වගේම තමන්ගේ ඒ භාවනාව නිසා බුදු ගුණ වැඩීම නිසා මනුෂ්‍යයන්ටත් ප්‍රියමනාප වෙනවා, දුටු දුටුවන්ගේ ප්‍රසාදය ලැබෙනවා. දෙවියන්ගේත්, අමනුෂ්‍යයන්ගේත් ප්‍රියමනාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා.
ඒ වගේම සතෙක් පෑගුනත් දෂ්ඨ නොකරන තරමට ම තමන්ගේ ආනිසංසයක් ඇතිවෙනවා. ඒ කියන්නේ වස, විස, අවි ආයුධ, ගිනි විපත්ති වළකිනවා. ඒ වගේම බුද්ධානුස්සතිය වැඩීම නිසා බොහෝ සෙයින් ශරීරය වර්ණයත් ප්‍රසන්න වෙනවා.
එපමණක් නෙමෙයි හිත බොහෝ සෙයින් සමාධිගත වෙනවා. වහ වහා මොකද කරන්නේ බුදු ගුණ වඩන්න වඩන්න නීවරණ ඈත් වෙන නිසා හිත සමාධිමත් වෙනවා. එ පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ගුණ ගැන පුදුමාකාර ගෞරවයක්, ප්‍රසාදයක්, බුහුමානයක් ඇති වෙනවා. ඒ වගේම බලවත් ප්‍රමෝද්ධ්‍යක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන්, ස්මෘතියෙන් ඒ එවගේම පුණ්‍ය මහිමයෙන් උසස් බවට පත්වෙනවා. එපමණක් නෙමෙයි බිය තැති ගැනීම් නැති කෙනෙක් වෙනවා. කොයි වෙලාවකවත් හිතට බයක් ඇති වෙන්නේ නෑ. අමනුෂ්‍යයෙක් ඉස්සරහට ආවත් බය ඇති වෙන්නෑ. සතෙක්, සර්පයෙක් ඉස්සරහට ආවත් බය වෙන්නෑ.
අර පසුගිය කාලයේ අපිට අහන්න ලැබුණු සිද්ධියක් කුඩුම්භිගල හිටියා මෛත්‍රී උපාසක කියලා. පස්සේ තමයි මෛත්‍රී නම ලැබුනේ. ඇත්ත වශයෙන්ම බෞද්ධ කෙනෙක් නෙමෙයි. ක්‍රිස්තියානි කෙනෙක්. කතෝලික ආගමේ කෙනෙක්. ඔහු ඉතින් ඒ වනාන්තරේ ඉන්නකොට එක දවසක් දවල් නින්ද ගිහිල්ලා ඔහුට හීනයක් පෙනුනා. මොකක්ද මේ හීනේ මෙන්න මේ මන්තරේ මතක තියාගන්න කියලා. ඉතිපිසෝ ගාථාව. ඔහුට ඒ ඉතිපිසෝ ගාථාව පාඩම් තිබුණා. ඔහු හිතුවා ඒක අපේ ආගමේ එකක් නෙමේ මේක බුද්ධාගමේ එකක්නෙ කියලා.
නමුත් එදාම හවස ඔහු ඇවිදගෙන යනකොට මේ දොළකින් බැහැගෙන යනව මේ දර හොයන්ඩහරි යම් කිසි දෙයකට. යනකොට විශාල දැවැන්ත වලෙහෙක් ඉස්සරහටම ආවා. වලහත් ඒ පැත්තෙන්ම බැහැගෙන එනවා දොළට. මේ ඇත්තා මේ පැත්තෙන් බැහැගෙන යනවා. මුහුණටම මූණ හිටිය. මේ මනුස්සයාට වෙන දෙයක් නෙමේ ඉතිපිසෝ ගථාව සිහි වුණා. සිහි වෙච්ච ගමන්ම කියනකොට වලසා විදුලි වේගයෙන් ආපසු පැනලා ගියා.
පුදුම ආචාර්යය සිද්ධියක්. එදායින් පස්සේ තමයි සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙලා ඒ ආරණ්‍යයත් ආරණ්‍යයක් බවට පත්කරන්න සමර්ථ උනේ. ඉතින් මේ වගේ සිදුවීම් කොච්චරවත් අහන්න දකින්න තියෙනවා. ඒ නිසා කවදාකවත් බුදුගුණ වඩන්නෙකුට සතෙකුගෙන්වත් අනතුරක් වෙන්නේ නෑ.
ඒ වගේම අපට කුඩා කාලයේ කියාලා දීලා තියෙනවා අකුණු පුපුරන වෙලාවේ දරුවනි මේ ඉතිපිසෝ ගාථාව කියන්න කියලා. කවදාවත් අකුණු සැර වදින්නේ නෑ. ඒක සත්‍යම සිද්ධියක්.
මේ වගේ ඉතිපිසෝ ගාථාව පුදුමාකාර අනුසස් දෙන දෙයක් ඉතිපිසෝ ගාථාව කියන්නේ බුදු ගුණ. ඒ වගේම අර මහා කප්පණ මහ රජ්ජුරුවෝ තමන්ගේ පිරිස දහසක් ඇමතියන් එක්ක අශ්වයන් පිටින් ගංගාවක් තරණය කළා කිසි ආපදාවක් නොවී බුදුගුණ කිය කියා. ඒ වගේම එතුමාගේ අගබිසව වන අනෝජා දේවිය ඇතුළු බිසෝවරු දාහක් යාන වාහන වලින් ඒවගේම බුදුගුණ කියලා ගංගාවෙන් එතෙර වුනා. ආශ්චර්යයි නේද…මේ ඔක්කොම බුදු ගුණ ආනිසංස.
ඒ ඇත්තෝ සසරේදී බුදු ගුණ වඩල තියෙනවා. සසරදී පුරුදු කරල තියනවා. ඒ නිසා තමයි සිහිකල පමණින් ඒ අනුසස් ලැබෙන්නේ.
එපමණක් නෙමෙයි මේ බුදුගුණ වඩන්නාගේ හිතේ ඇතිවන ප්‍රීති සෝමනස්සය නිසා හරියට හඳේ එළියයි, ඉර එළියයි වගේ ආලෝකය පවා පහල වෙනවා. පින්වතුන් අහල තියෙනවනේ අනාථපිණ්ඩික සිටුවරයා පළමුවරට බුදුරජාණන් වහන්සේ දකින්න පාන්දර උදේ එළිය වැටෙන්න ඉස්සර පාන්දර පිටත් වෙලා ගියේ. රජගහනුවර තමන්ගෙ නැගණියගේ නිවසේ ඉඳල. යන්න තියෙනවා හරියටම සොහොන් පිට්ටනියක් මැද්දෙන්. දිගටම මෙතුමාට මේ හද පායලා වගේ බොහෝම ලස්සන ආලෝකයක් තියනවා. හැබැයි මෘත ශරීරයක් කකුල හැප්පෙනකොටම බය ඇතිවෙලා ආලෝකය නැති වුණා. ආයෙත් බුදු ගුණ සිහි කරන කොට මෙන්න ආලෝකය පහළ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සිතේ ආලෝකයක් පවා ඇති වෙනවා මේ බුදුගුණ නිතර මෙනෙහි කරන්නාට. ඒ වගේම කවදාකවත්ම බුදුරජාණන් වහන්සේ අමතක වෙන්නේ නැ. බුදුරජාණන් වහන්සේගේ එකට ජීවත් වෙනව කියන සතුට ඇති වෙනවා. බුදු බව ලබන්නට බව හිත නැමෙනවා. එපමණක් නෙමෙයි තමන්ට වරදක් කරන්න කාරණයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා වගේ කියලා හිතට දැනෙනවා. ඒ නිසා වහාම ඒ අකුසලයෙන් වලකිනවා.
ඒ නිසා සීලය පූරණය කරන්නත් මේ බුදුගුණ පුදුම විදිහෙ පිහිටක් වෙනවා. එපමණක් නෙමේ සසර ගමනේදීත් දැන් මෙලොව රහත් නොවුනානම් නම් සසර උපනූපන් තැන කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. පිටසක්වලක යන්නෙ නෑ. ඒ වගේම මිසදුටු ගන්නෙ නෑ. මොනම ආගමක උපන්නත් මිසදුටු ගන්නෙ නැහැ. සම්මා දිට්ඨික වෙනවා. ඒ වගේම ත්‍රිහේතුක උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා.
එපමණක් නොව ලොව්තුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූ සේක්නම් ඒ තැනැත්තා සොයාගෙන වඩිනවා. මේ තරමට ආනිසංස මෙලොවත්, පරලොවත් ලැබෙනවා.
පමණක් නොවෙයි ඉතින් ඒ බුදු ගුණ භාවනා වැඩීමෙන් සුගතියට ගිහිල්ලා එයින් නොනැවතී භාවනා වඩලා මඟ ඵල නිවන් සුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදු ගුණ භාවනා පදනම් කරගෙන මෙලොවම විපස්සනා වඩලා විපස්සනා ඤාණ සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්පත් තිබුණනම් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සුව ලබන්නත් මේ බුදුගුණ භාවනාව හේතු උපනිශ්‍රය වෙනවා. ඒ බව අපි ගෞරවයෙන් පිළිගනිමු.
සාදු සාදු සාදු
අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි.