පිංවත් ඔබ අවංකවම දුප්පත් කෙනෙක් නම්…

පිංවත් ඔබ අවංකවම දුප්පත් කෙනෙක් නම්, ඔබ, ඔබේ පිණ්ඩපාත දානයට බතුයි පොල් සම්බෝලයි පූජා කරන්න. එය ඔබට මහත්ඵල මහානිශංස පිංකමක් වෙනවා. මොකද අවංකවම ඔබට තිබෙන දෙයයි ඔබ දන් දෙන්නෙ. නමුත් යම් පිංවතෙක්, තමන් ප‍්‍රණීතව ආහාර අනුභව කරලා, අනුනට අප‍්‍රණීතව නොවටිනා, දෙවැනි ශ්‍රේණියේ දෙයක් පූජා කරනවා නම්, එවැනි පිංවතුන්ලාට පටිච්චසමුප්පන්නව තමන්ට ලැබෙන කිසිම දෙයකින් සෑහීමකට පත්නොවන අතෘප්තිමත් ජීවිත ලැබෙන්නට පුළුවන්.

යම් දුප්පත් පිංවතෙක් තමන් උදෑසන ආහාරයට පිසගත් බත් සහ පොල් සම්බෝලය පිණ්ඩපාතයේ වැඩිය ස්වාමින් වහන්සේ නමකට පූජා කරනවා. නමුත් එම ස්වාමීන් වහන්සේගේ යම් දුර්වලතාවයක් නිසා, එම පිණ්ඩපාතයෙන් එම ස්වාමීන් වහන්සේ සෑහීමකට පත්වෙන්නේ නැහැ. එම ස්වාමීන් වහන්සේ සෑහීමකට පත් වූයේ නැතත්, එම පිණ්ඩපාතය පූජා කළ දුප්පත් පිංවතා තුළ ශ‍්‍රද්ධාව, ගරුත්වය, කර්මය, කර්මඵල විශ්වාසය තිබුණා නම්, එම පිණ්ඩපාතය මහත්ඵල මහානිශංස වෙනවා. තමන්ට ලැබුණු දෙයින් තමන් නොසෑහුනේ, එම ස්වාමීන් වහන්සේගේ සංස්කාරයන්ගේ විපාකදීමේ යථා ස්වභාවය නොදන්නා නිසාමය.

මෙය සටහන් තබන භික්ෂුව අද උදෑසන ගම්මානයේ නිවාස අටකට පිණ්ඩපාතයේ වැඩියා. නිවාස තුනකින්ම ලැබුණේ බත් පමණක්මයි. භික්ෂුව එම බත් හැන්දත් සෑහීමකින් පිළිගත්තේ දිව්‍ය භෝජනයක් වගේමයි. මොකද දානය කියන්නේ ඒ තරම්ම දුර්ලභ අර්ථයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ සකස් වෙන දිනන්න අපහසුම යුද්ධය තමන් සතු යමක් අනුනට දන්දීමය කියලා.

පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ හටගන්නා යමක් දෙම්දෝ සහ යමක් නොදෙම්දෝ යැයි ඇතිවෙන ඇලීම් සහ ගැටීම් සිතුවිලි යුද්ධයෙන්, මම දන් දෙමි යැයි කියන පාර්ශ්වය ජයග‍්‍රහණය කිරීම, තෘෂ්ණාවෙන් නිරතුරුවම තිරිහන්වෙන ලෝකයේ දුර්ලභම ජයග‍්‍රහණයක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

යම් දුප්පත් පිංවතෙක් බත් හැන්දක් පමණක් පාත‍්‍රයට පූජා කරද්දී, අපි දකින්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට තවත් ඉදිරියට යන්න පුළුවන්ය කියලා. එයත් භික්ෂූන් වන අපි පිණ්ඩපාත ගමනේදී ලබන නික්ලේශි ආත්ම තෘප්තියක්.

මාර්ගය තුළ හික්මෙන ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩිය යුත්තේ, තමන් නොලැබූ, විදර්ශනාමය අවබෝධයන් ලැබීම උදෙසා, කය පවත්වාගෙන යෑමට ආහාර සොයාගැනීම උදෙසා පමණක්මයි. බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කොට තිබෙනවා, පිණ්ඩපාත චාරිකාවට අදාළව පනවා ඇති ශේඛියා ධර්මයන්ට යටත්ව, ඉර වගේ, සඳ වගේ තැන් තැන්වල නොනැවතී පිණ්ඩපාත චාරිකාවේ වඩින්නය කියලා.

උන්වහන්සේලා, බත් හැන්දක් පූජා කළත් සිත පිරෙන්න පිං අනුමෝදන් කරනවා. යම් නිවසකින් අද දානයට පූජා කරන්න මුකුත් නැහැය කියලා කිව්වොත්, ඒ නොලැබීමත් උන්වහන්සේලාට සුන්දර අවස්ථාවක්මයි. පූජා කරන්න යමක් නැහැය කියපු පිංවතාටත් අභිවාදනශීලිස්ස කියලා පිං අනුමෝදන් කරනවා. එවිට එම පිංවතුන් තුළ මහා සංඝරත්නය කෙරෙහි දානය කෙරෙහි ඡන්දය වැඩි වෙනවා. එය සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක්මයි.

– පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.