පාස්කු ඉරිදා ප්‍රහාරය ධර්මයේ ඇසින්…

අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුගිය දිනක(2019.04.21) ඇතිවුණ විනාශකාරී සිද්ධියත් එක්ක බොහෝ දෙනෙක්ට තමන්ගේ ප්‍රියයන් අහිමි වුණා. ඒ වගේම ජීවත්වීම පිළිඩඳ අවිනිහ්චිත බවක් සිතු තුළ ඇතිවුණා. අපේ ස්වාමීන් වහන්ස, මෙහෙම බලද්දි සමාජයේ බහුතරයක් විශාල මානසික පසුබෑමකට ලක් වෙලා සිටිනවා ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, මේ වෙනුවෙන් ඔබ වහන්සේ අපිට ධර්මානුකූලව පහදා දෙන්නේ කුමක්ද?

මම භික්ෂුවක් හැටියට පුතේ ප්‍රශ්නයක් විග්‍රහ කරන්න ඕනෙ ධර්මානුකූලව නේද? මොකක්ද ඔය කියන්නේ කියන්නකො. ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝී මනස්සයන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම්, අප්‍රියයන් හා එක්වීම් පංච උපාදානස්කන්ධයේ දුක නේද ඔය කියන්නේ? වෙන දෙයක් තියෙනවද ඔතන?

මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් කියන්නේ මොකක්ද? අප්‍රියයන් හා එක්වීමක් නෙවෙයි ද? එහෙනම් දරුවො ඔය කියන සෑම කතාවක් ම මොකක් ගැනද ඔය කියන්නේ? දුක කියන කාරණය ගැන.

ඒ වගේම අපි මේ කතාකරන දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුවක් නිසාමයි සකස් වුණේ කියලා. හේතුවකින් තොරව කවදාවත් දුක සකස් වීමක් නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවෙන්න මේ ජරා, ව්‍යාධි, මරණ දුක ඇතිවෙන්න එකම හේතුව ඉපදීදමයි කියලා. ඔන්න සුන්දර ධර්මය. එතකොට මේ දුක සකස් වුණේ ඉපදීම නිසයි.

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉපදීම සකස් වෙන්නත් හේතුවක් තියෙනවා. හේතුවකින් තොරව ඉපදීමක් ලැබෙන්නේ නැහැ. ඒ ඉපදීම සකස් වෙන්න හේතුව කුමක්ද? භවය සකස් වෙන නිසාමයි. භවාත්‍රය කියන්නේ මොකක්ද? කාම භව, රූපී භව, අරූපී භව කියන මේ භවාත්‍රය කෙරෙහි ඇතිකර ගත්තා වූ තෘෂ්ණාව නිසයි.

එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවාත්‍රය කෙරෙහි තෘෂ්ණාව ඇතිවුණෙත් හේතුවක් නිසාමයි කියලා. එය ඉබේ හට ගන්නේ නැහැ. ඒ හේතුව තමයි උපාදානය. ඒ කියන්නේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, අන්‍ය ශීලවෘත උපාදානය. අපි මේ උපාදානයන් කෙරෙහි බැඳී යාම නිසයි භවාත්‍රය සකස් වුණේ.

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදානයත් ඉබේ ඇතිවුණා නෙමෙයි. උපාදානයටත් හේතුවක් තියෙනවා. උපාදානයට හේතුව කුමක්ද? තෘෂ්ණාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමක් කෙරෙහි තෘෂ්ණාව ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි තෘෂ්ණාව නිසාමයි. මේ පංච උපාදානස්කන්ධ කෙරෙහි තෘෂ්ණාව නිසාමයි සත්ත්වයා මේ බැදි යාම. කාම උපාදාන, දිට්ඨි උපාදන, අන්‍යශීලවෘත උපාදාන මේවා කෙරෙහි තෘෂ්ණාව සකස් කර ගන්නේ බැදී යන්නේ කියලා.

ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාවත් ඉබේ ඇතිවන දෙයක් නෙවෙයි කියලා. තෘෂ්ණාව සකස් වෙන්නේ කුමක් නිසාද? ඵස්සය කෙරෙහි ඇති කරගත්තා වූ කැමැත්ත නිසා. දැක්ක දේ, ඇසුණු දේ, දැණුන දේ කෙරෙහි ඇති කර ගත්තා වූ ඇලීම්, ගැටීම්, උපේක්ෂාව කියන මේ වේදනාව නිසා, විදීම නිසා. එහෙනම් දරුවෝ මේ වේදනාව, ඵස්සය සක්ස් වුණේ කුමක් නිසාද? අවිද්‍යාව නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චතුරාර්ය සත්‍යය නොදැනීම.

මේ සිද්ධීන් අපි දකිද්දි පුතේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තරම්, මේ උතුම් ශ්‍රී සද්දර්මය තරම්, මේ උතුම් මහා සංඝ රත්නය තරම් පුතේ අර්ථය ශක්තිමත් කරන වෙන ධර්මතාවයක් නම් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අපි මේ තුළින් දකින්නේ. ඒ් නිසා මේ සුන්දර ධර්මය තුළින් දරුවෝ අපි නැවත ජාති, ජරා, ව්‍යාධි, මරණ. ශෝක, පරිදේවයන් ගෙන් තොර ස්වභාවයක් මතු කර ගන්නයි දක්ෂ වෙන්න ඔ්නේ.

ඒ් නිසා මේ වෙලා තියෙන විනාශයෙන් ධර්මය මතු කර ගන්න නම්, ජයග්‍රහණය මතු කර ගන්න නම්, නිරතුරුව ම අපි ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් බැහැරව, දුස්සීල භාවයෙන් බැහැරව, නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය තුළින් ජීවිතයට, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඔ්නේ.

සටහන උපුටාගැනීම දමිගගූල facebook පිටුවෙන්.