පරිසරය ලස්සනට තබාගෙන ආනිශංස එකොළහක් ජිවිතයට ලබා ගන්න.

භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්‍රව්‍ය තැන් තැන්වල දමලා.

පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන් කුස පුරවාගෙන අකුසල් වලින් ජීවිතයත් පුරවාගෙනයි යන්නේ. පින්වත් ඔබ දැන දැන ලස්සන පරිසරය අපවිත්‍ර කරන්න එපා. ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය අපිළිවෙලින් පිරි ජීවිතයක් වේවි. ලස්සනට ඉන්න, ලස්සනට ඇඳුම් පැළඳුම් ආභරණ පළඳින්න, ලස්සන ගෙයක් දොරක් හදාගන්න සිත නොදෙන අවාසනාවන්තයෙක් වේවි.

වරක් තරුණ කාන්තාවක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මම කසාද බැන්ඳෙ මනුෂ්‍යයෙක් නොවේ, පෙරේතයෙක්ය කියලා. මේ මනුෂ්‍යයා නාන්නේ නැහැ, ඇඳුම් හෝදන්නේ නැහැ, කිසිම පිළිවෙලකට නැති මනුෂ්‍යයෙක්ය කියලා. රාත්‍රියට කුණු කෙළ පෙරාගෙන නිදා සිටින හැටි දැක්කම, මට සංසාරෙම එපා වෙනවා කියලා.

භික්ෂුව සෑම දිනකම, දිනකට දෙවරක් කුටියේ වැලි මළුව සහ අවට අමදිනවා. වැලි මළුවේ කොල වැටිලා තිබෙනවා නම්, භික්ෂුවට එය දැනෙන්නේ, භික්ෂුවගේ සිත මත ඇලීම් සහ ගැටීම් ඇතිවෙලා තිබෙනවා වගේම, පිළිකුල් බවක්.

පින්වත් ඔබ, ඔබ අවට පරිසරය හෝ අනුන් අවට පරිසරය අවලස්සන කරන්න එපා. පරිසරය අවලස්සන කරද්දි, දෙවියෝ කෝප වෙනවා. භික්ෂුව කුටිය අවට ලස්සනට, පිළිවෙලට තබාගන්නේ දෙවියෝ සතුටු කරන්න. මේ මොහොතේත් භික්ෂුව තුළ, කුටියේ වැලි මළුව සහ අවට පරිසරයේ පිරිසිදු බව දැකලා දෙවියෝ සතුටු වේවා, සියලූම මනුෂ්‍යයෝ, සියලූම සත්ත්වයෝ සතුටු වේවා යැයි කියලා, මෙත් සිතක්මයි ඇතිවෙන්නේ. ඒ මෙත් සිත තුළ ආනිශංස එකොළහක් භික්ෂුවට ලැබෙනවා.

පන්සලේ, ආරණ්‍යයේ, කුටියේ, පින්වත් ඔබේ ගෙමිදුලේ පරිසරය ලස්සනට තබාගෙන ආනිශංස එකොළහක් ජීවිතයට ලබා ගන්න මාර්ගය කියන එකම ශාසනය, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයමයි.

පරිසරය පිරිසිදුව තබා ගනිද්දි ඔබේ ආයුෂ, වර්ණය, සැපය වැඩෙනවා. ඔබේ කුසල් ශක්තිය වැඩිවෙනවා, දෙවියන් සතුටු වෙනවා, සුගතියේ ඉපදෙනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

(බුදුන් දෙසූ මඟ සත්‍ය සොයා ගිය අපේ කාලයේ මුණිවරයෙකුවු මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශනා කරන අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ සටහනකින් උපුටා ගන්නා ලදී)