තමා තමාවම රවට්ටගන්නවා.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ.

වැරදි මාර්ගය ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක්‌ පිංවත් ඔබට මෙහි සටහන් තබනවා.

මෙය සටහන් තබන භික්‍ෂුව හමුවට ධර්මය අහන්න එන ශ්‍රද්ධාවන්ත දරුවෙක්‌ ඉන්නවා. ඔහු විවාහකයෙක්‌. ළමා වයසේ දරුවන් කිහිපදෙනෙක්‌ ඉන්නවා. මේ මහත්මයා සද්ධර්මය නිසාම ජීවිතය නිවැරදි කරගත් අයෙක්‌. දිනක්‌ මේ මහත්තයා කියනවා ‘දරුවන්ගේ අකීකරුකම් නිසා, මගේ බිරිඳට හරියට කේන්ති යනවා. එයාට කොච්චර කිව්වත් කේන්තිගන්න එපා කියලා, මොහොතකින් එය අමතක වෙනවා. හැබැයි මම කියලා කියලා දැන් හුඟක්‌ අඩුවෙනුයි කේන්ති ගන්නේ’ කියලා.

දවසක්‌ ඒ නෝනාට කේන්ති ගිය වෙලාවක මහත්තයා උපක්‍රමයක්‌ වශයෙන් කියලා තියෙනවා ‘ඔයා කේන්ති ගන්න නිසා ඔයාගේ මුහුණ දැන් කැත වෙලා. ඒ නිසා ඔයා කේන්ති ගන්න එපා’ කියලා. ඒත් මහත්තයා එහෙම කියපු වෙලාවේ ඉඳලා ඒ නෝනා කරන්නේ මිල ගණන් අධික, ලස්‌සන වෙනවාය කියන ක්‍රීම් වර්ග අරගෙන මුහුණේ ආලේප කරන කටයුත්තලු. බලන්න. වැරදි මාර්ගය ඔස්‌සේමයි අපි නිවැරදි වෙන්න හදන්නේ. ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක්‌ කරගෙන පිංවත් ඔබ නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න බැරි බව නුවණින් හඳුනාගෙනම….

එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.

‘අනිච්ජාවත සංඛාරා’ සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. ඔතැනම තිබෙනවා, ලෝකය නිවැරදි කරන්නට බැරි බවට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය. පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක්‌ වේවි. සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව තමයි ලෝකයේ තිබෙන සංකීර්ණභාවයට, අධිවේගීභාවයට හේතුව. පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න ‘මම මැරෙණවා’ය කියන කාරණය. නැවත මැරිලා ඉපදෙනවාය කියන කාරණය. පාංශකූලය, හත්දවසේ, තුන්මාසේ පිංකම්…. සාම්ප්‍රදායික මළගෙදරක චාරිත්‍ර වෙනුවට මිය යැමට පෙරම ඔබ, මරණින් මතු සුරක්‍ෂිත පුද්ගලයකු වන්න. එවිටයි ඔබට අවස්‌ථාව ලැබෙන්නේ ඔබම රැස්‌කරපු සංස්‌කාර හේතුවෙන් ලබන භවය අනුන්ගේ පිං ගොටුවකින් යැපීමට අවශ්‍ය නොවන තැනට පත්කරගන්න.

කෙනෙක්‌ මැරුණාට පසු ඔහුගේ මරණය ගැන කම්පා නොවී, ජීවත්ව සිටින විට තමාගේ මරණය ගැන සිතන්න. මරණයත් සමග ජීවත්වෙන්න. එය හරිම සුන්දර ඇත්දැකීමක්‌. මරණයේ සුන්දරම අත්දැකීම ලබන්නේ රහතන්වහන්සේය. මරණය උන්වහන්සේට ආශිර්වාදයකි. මංගල කාරණාවකි. උන්වහන්සේ අවිද්‍යාව අවසන් කර ඇත. ඒ උත්තමයා දුකත්, සැපත්, උපේක්‍ෂාවත් අනිත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ උත්තමයාගේ මරණය හුදු ක්‍රියාවක්‌ පමණක්‌මය. එය මේ ලෝකයේ ඇති සුන්දරම මරණයයි. මාර්ගඵලලාභී දෙව් බඹුන් සාධුකාර දෙන මරණයයි. අනෙකුත් දෙවිවරුන්ට ශෝක උපදවන මරණයයි. මාර පිරිස අත්පොළසන් දෙන මරණයයි. මහපොළොවට පස්‌වන ඇටකැබලිත් පූජණීයත්වයට පත්වෙන මරණයයි.

තෙරුවන් සරණයි…!!!

~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~