ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක, උපාසිකාවක් නම් ඔබ ඉටුකළයුතු පූජනීය වගකීම…

දුක තුනී කරන තෘෂ්ණාව සියුම් කරන එකම එක මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එහෙනම් ඔබට යුතුකමක් තියෙනවා, ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් නම්, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක, උපාසිකාවක් නම් ඔබට ඉටුකළයුතු පූජනීය වගකීමක් තියෙනවා. ඒ පූජනීය, වන්දනීය වගකීම තමයි ඔබ දුකෙන් මිදෙන, තෘෂ්ණාව සියුම් කරන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වෙන මාර්ගයක් නැහැ.

ඔය ගිහිල්ලා සුපිරි වෙළඳසැල් වලට ගිහිල්ලා බඩු ගෙනල්ලා ගේ ඇතුළේ තොග ගණන් තියා ගත්තා කියලා, ඕවා රැස් කළා කියලා මහපාරට බහින්නේ නැතුව හිටියා කියලා, මනුස්සයින් ආශ්‍රයට යන්නේ නැතුව හිටියා කියලා පුතේ මේකෙන් විසඳෙන්න බැහැ. එක මාර්ගයයි තියෙන්නේ, බඩගින්නේ ඉඳලා හරි ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. මම නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් වැරදුන තැනක් නැහැ. අනාගතයේ වරදින්නෙත් නැහැ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ලෝකය ගිනි ගන්නා ස්වභාවයෙන් යුක්තයි, මේ ගින්න නවත්වන්න බැහැ. නිරතුරුව මේ ලෝකය ගිනි ගනිමින් පවතින්නේ. ඒ නිසා ගිනි ගන්නා වූ ලෝකය නිවන්න යාම පැත්තකින් තියලා ඔබේ ගින්න ඔබ නිවා ගන්න. ඔබේ ගින්න ඔබ නිවා ගන්න. ඔබ අර ගිනි ගන්නා වූ ලෝකයට තවත් තෘෂ්ණාවේ ඉන්ධන දෙන්න එපා. ඔබ, ඔබ තුළ ගිනි ගන්නා වූ මේ ලෝකය, මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස මේ ගින්න ඔබ නිවා ගන්න. ඒ ගින්න නිවන මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ විශ්වාසය තුළ ඉන්න.

භික්ෂුවක් හැටියට මා මේ මොහොතේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ස්ථානගත වෙලා තියෙන්නේ. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ස්ථානගත වෙලා තියෙන භික්ෂුවගේ ජීවිතයට බයක් නැහැ. සැකයක් නැහැ. චකිතයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද ජීවිතය චතුරාර්ය සත්‍යය තුළ විසිරුවලයි තියෙන්නේ. චතුරාර්ය සත්‍යය තුළ විසිරුවලයි තියෙන්නේ. චතුරාර්ය සත්‍යය තුළ විසිරුවලා තියෙද්දි, ඒ ජීවිතය සම්මා දිට්ඨියේ අර්ථයන් තුළිනුයි ඔහු දකින්නේ. ඒ ජීවිතය සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තුළිනුයි ඔහු දකින්නේ. ඒ ජීවිතය සම්මා සති කියන අර්ථයන් තුළිනුයි ඔහු දකින්නේ. ඒ ජීවිතය සම්මා සමාධිය කියන අර්ථයන් තුළිනුයි එය දකින්නේ. ඒ සම්මා සමාධියේ අර්ථයෙන් ජීවිතය දකිද්දි එම භික්ෂුවට, එම පුද්ගලයාට සම්මා ඥාන, සම්මා විමුක්තිය කියන උතුම් ඵලයනුයි අවසානේ සාක්ෂාත් වෙන්නේ තේරුණාද?

ඒ නිසා දුක දකිද්දි, අපේ අරමුණ විය යුත්තේ අපේ චේතනාව විය යුත්තේ, අපේ ව්‍යායාමය විය යුත්තේ ඒ දුක සම්මා ඥාන තුළින් සම්මා විමුක්තිය කරා අරන් යාමයි. අන්න දුකට සුන්දර ආයෝජනයක් කළා. අන්න දුකට සැබෑ වටිනාකමක් දුන්නා. අන්න දුක නිරෝධය කළා. අන්න දුකට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර දුන්නා. දුක මුල් කරගෙන, දුක හේතු කරගෙන, දුක උපයෝගී කරගෙන ඒ භික්ෂුව, ඒ පුද්ගලයා සම්මා ඥානයන් තුළින් සම්මා විමුක්තිය සාක්ෂාත් කර ගත්තා.

ඇස නිවා ගත්තා. කණ නිවා ගත්තා. නාසය, දිව, ශරීරය, මනස නිවා ගත්තා. ඒ ආයතන නැවත ඇවිළෙන්නේ නැහැ. ඇවිළෙන්නේ නැහැ. දර ඉවරයි. තෙල් ඉවරයි. ඇවිළීමක් නෑ. සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවක් නෑ. සංස්කාර නමැති තෙල් අහවර කළා. සංස්කාර නමැති දර අහවර කළා. නැවත ගින්නේ ඇවිළීමක් නැහැ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය පුරා සකස්වෙන මේ රෝග බිය, මේ දුක චතුරාර්ය සත්‍යය තුළ විසිරුවලා, ඒ චතුරාර්ය සත්‍යය තුළ විසිරුවීමේ ඵලය තුළින් මේ දුකෙන් සම්මා ඥාන, සම්මා විමුක්තීන් සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙන් මිදුනේ යම් සේද, රාහුල පුතණුවන් මේ ලෝකයෙන් මිදුණේ යම් සේද, පටාචාරාව, යශෝධරාව, කිසාගෝතමිය මේ ලෝකයෙන් මිදී ගියේ යම් සේද ඔබටත් මේ ලෝකයෙන් මිදී යන්න කියලා.

ඔබ මේ ලෝකයෙන් මිදී නොගියොත් තව වැඩි කලක් යන්න ඉස්සෙල්ලා මෘග සංඥාව එනවා. ඒ මෘග සංඥාවෙදි ඔබ මැරෙන්නේ උණ හැදිලා නෙමේ. ඔබ මැරෙන්නේ හෙම්බිරිස්සාව හැදිලා නෙමේ. ඔබ මැරෙන්නේ බෝවෙන වසංගත හැදිලා නෙමේ. ඔබ මැරෙන්නේ තවත් මනුස්සයෙක් අමු අමුවේ ඔබව මරාගෙන කාලා. ඒක හොඳට තේරුම් ගන්න. ඔබ එදාට මැරෙන්නේ තවත් මනුස්සයෙක් ඔබව අමු අමුවේ මරාගෙන කාලා. එදාට නීතියක් නෑ. එදාට ධර්මයක් නෑ. එදාට අධිකරණයක් නෑ. එදාට පොලීසියක් නෑ. එදාට නීතිය ශක්තිවන්තයා ජය ගන්නවා කියන නීතියයි. ඔබට වඩා ශක්තිවන්තයෙක් ඔබව එදාට අමු අමුවේ මරාගෙන කාවි.

ඔබ බලන්න කපුටෙක් ගෙම්බෙක් අල්ලගෙන ඒ සතා අමු අමුවේ මරාගෙන කනවා ඔබ දැකලා තියෙනව ද? වෙනත් කුරුල්ලෙක් කෘමියෙක් අල්ලගෙන අමු අමුවේ හොටෙන් ඇන ඇනා, ඇන ඇනා කෑලි කඩ කඩා, අර සතා කෑ ගහද්දි, දඟලද්දි, ලතෝනි දෙද්දි මරාගෙන කනවා ඔබ දැකලා තියෙනව ද? ඔබ දැකලා තියෙනවා නම්, කවදාහරි මෘග සංඥාව වැඩි කාලයක් නෑ. මෘග සංඥාවේ බීජමය අවස්ථාවන් දැන් සියල්ල මතුවෙලා ඔබටත් කවදාහරි අමු අමුවේ ඔබව මරාගෙන කද්දි, ඔබේ අතපය කඩාගෙන කද්දි ඒ වියරු වේදනාවෙන් කෑගගහා ඔබට විඳින්න තියෙන වේදනාව අද මේ උණ හැදෙන වේදනාව, හෙම්බිරිස්සාව හැදෙන වේදනාව, වසංගත හැදෙන වේදනාව නම් නෙමේ.

ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයට ආදරය කරන්න එපා. ආදරය කරන්න එපා. ගරු කරන්න එපා. විශ්වාසය තියන්න එපා. මේක අවිද්‍යාවෙන් හැදුන, තෘෂ්ණාවෙන් පෝෂණය වෙන කාලකණ්ණි ලෝකයක්. මේකේ සැප බලාපොරොත්තු වෙන්න එපා. සෑම සැපයක් පිටපස්සෙම බරපතල වූ දුකක් සැඟවිලා තියෙන ලෝකයක්.

ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකට ආදරය කරන්න එපා. ඒකයි මං ඔබට කිව්වේ, මට මුණගැහුණු සුන්දරම මනුස්සයාත්, මට මුණගැහුණු අසුන්දර මනුස්සයාත් එක මනුස්සයෙක් තුළිනුයි මම දැක්කේ. මට මුණගැසුණු කීකරුම මනුස්සයාත්, අකීකරුම මනුස්සයාත් එකම මනුස්සයෙක් තුළින් දැක්කේ.

ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකය එක දශමයකින්වත් ස්පර්ශ කරන්න මම නම් කැමැත්තක් නෑ. ඇයි, අවිද්‍යාවෙන් ගොඩනැගුණු ලෝකයක්. තෘෂ්ණාවෙන් පෝෂණය වෙන ලෝකයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වූ දුකට හේතුවෙන අවිද්‍යාවට, ඒ අවිද්‍යාව පෝෂණය කරන තෘෂ්ණාවට එක වචනයකින්වත් මගේ නම් කැමැත්තක් නැහැ. මං ඔබටත් කියනවා, ඔබටත් කැමති වෙන්න එපාය කියලා.