ඔබ ඔබව ලැජ්ජාවට පත්කර ගන්න.

ධර්ම සාකච්ඡාවකදී පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැරිද කියලා. අවංකවම සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැහැ. සමාධියක්‌ නැහැය කියන්නේ පංචනීවරණ සිතේ බහුලයි කියන කාරණයයි. පංචනීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්චාව කියන ධර්මතාවයන්ට. මෙම අපද්‍රව්‍ය සහිත සිතේ ධර්මතාවයන්ට අදාළ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. ලෝභ, ද්වේශ, මෝහ වැනි විෂම ධර්මතාවයන්නම් හොඳින් වැඩේවි. එම නිසා භාවනාවට පෙරාතුව සමාධිමත් සිතක්‌ ඇතිකරගන්න අවශ්‍ය වෙනවා. ඊට උපකාරක ධර්මයක්‌ සලස්‌වල දෙන්නේ ශීලයේ පරිපූර්ණභාවයයි. පංචනීවරණයන්ගෙන් විසිරුණු සිත බොහෝම කලබලකාරියි. සැප සහිත අරමුණු ඔස්‌සේ හඹාගෙන යනවා. මේ කලබලකාරී බවට සතිය සැඟවිලා යනවා. මෙවැනි වෙලාවක සංසාර බිය දකිමින් ජීවත් වෙන්න. සතර අපාය සිහියට නගාගන්න. ධර්ම මාර්ගයත් ඔබත් අතර ඇති පරතරය දකිමින් බිය ඇතිකරගන්න. ඔබ ඔබව ලැජ්ජාවට පත්කර ගන්න. එවිට භාවනා අරමුණු ඉදිරියේ සිත සන්සුන් වේවි.

මෙවැනි උපක්‍රම තුළිනුත් ඔබේ සිතේ චංචල ස්‌වභාවය නවතින්නේ නැත්නම් ඒ වෙනුවෙන් ඔබ ආයාසයක්‌ ඇතිකරගන්න. ඇස්‌දෙක පියාගෙන ආශ්වාස, ප්‍රාශ්වාසයට පමණක්‌ සිත යොමු කරන්න. ආශ්වාස ප්‍රාශ්වාසය නවතා දමා මොහොතක්‌ දෑස්‌ පියාගෙන සිටින්න. නැවත නැවත මෙය සිදුකරන්න. මේ සියළු ක්‍රියාවන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකින්න. අපි හැමවිටම ශීලය සමාධිය ගැන පමණයි කතා කරන්නේ. ප්‍රඥාව ගැන කථාකරනවා අඩුයි. ශීල, සමාධි, ප්‍රඥා කියන්නේ මාර්ගයක්‌. එය ඵලයක්‌ නොවේ. නිවන් අවබෝධ කරගන්නාවු මාර්ගයක්‌. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕන මෙම මාර්ගයේ ගමන් කර ඵලයක්‌ ලබාගන්න. එම ඵලයන් තමයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන්. ශීලය තුළ හෝ සමාධිය තුළ නැවතී ඉඳල අර්ථයක්‌ නැහැ. ශීලය පමණක්‌ සමාධිය පමණක්‌ තනිව අරගන්නේ නැතිව ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය හැටියට නිවීමේ මාර්ගය දකින්න ඔබ දක්‍ෂවෙන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගසක අරටුවෙන් ප්‍රයෝජනය ඇති මනුෂ්‍යයෙක්‌ හොඳ ගසක අරටුව තිබියදීම අරටුව හඳුනා නොගත් නිසාම අරටුවයයි සිතාගෙන ගසේ කොළ අතු කපාගෙන යනවා කියලා. තව කෙනෙක්‌ ගසේ අරටුවයයි සිතලා ගසේ පොත්ත කපාගෙන යනවා. තවත් මනුෂ්‍යයෙක්‌ ගසේ අරටුවයයි සිතා ගසේ සිවිය කපාගෙන යනවා. තවත් මනුෂ්‍යයෙක්‌ ගසේ එලය කපාගෙන යනවා කියලා. මේ කිසිවෙක්‌ ගසේ අරටුවෙන් ප්‍රයෝජන ගන්න දක්‍ෂ නැහැ කියලා. එක කුල පුත්‍රයෙක්‌ ජාති, ජරා, ව්‍යාධි දුක දැකලා ඉන් මිදෙමියි කියල ශ්‍රද්ධාවෙන් ගිහිගෙදරින් නික්‌මිලා පැවිදි වෙනවා. පැවිදි භාවය හොඳින් කරගෙන යනවා. පැවිදි භාවයේ වටිනා ලක්‍ෂණ නිසාම, ප්‍රසන්න සිත්ගන්නාසුළු භාවය නිසාම දායක පිරිස්‌ ඇතිවෙනවා. ඒ නිසාම ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා රැස්‌කරනවා. මම ඇති අයෙක්‌ වෙමි, කීර්තිය ඇතියෙක්‌ වෙමි, පිරිවර ඇතියෙක්‌ වෙමි, මහේශාඛ්‍ය වෙමියි සිතනවා. අන්‍යයන් පින් නැති අල්පේශාක්‍යයන් හැටියට දකිනවා. උත්තරීතර ප්‍රනීත ධර්මයන් ඇතිකර ගන්න උත්සහගන්නේ නැහැ. මෙවැනි භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ අරටුව යැයි සිතා කොළ අතුකපාගෙන යන මනුෂ්‍යයෝ වගේය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් කුල පුත්‍රයෙක්‌ ශ්‍රද්ධාවෙන් පැවිදීවී කීර්ති ප්‍රශංසා සොයා නොගොස්‌ තමා උසස්‌ අනුන් පහත්යැයි නොසිතා ප්‍රනීත ධර්ම වැඩීමට වෑයම් කරනවා. ඔහු ශීලය හොඳින් පරිපූර්ණ කරනවා. ශීලය උදෙසාම තම පැවිදි ජීවිතය කැපකරනවා. ඉන් එහා උත්තරීතර ප්‍රනීත ධර්මයන් වැඩීමට වෑයම් කරන්නේ නැහැ. මොහු සසුන ලිහිල් කොට ගත්තෙක්‌ වෙනවා. මෙවැනි භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ අරටුවයැයි සිතා ගසේ පොත්ත කපාගෙන යන මනුෂ්‍යයා වගේයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් කුල පුත්‍රයෙක්‌ ශ්‍රද්ධාවෙන් පැවිදිවී ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වී සමාධි සම්පත්තිය ඇතිකරගන්නවා. ඔහු ඉන් එහා ප්‍රනීත ධර්මයන් වැඩීමට උත්සහ ගන්නේ නැහැ. මොහු ධ්‍යාන සම්පත් ලබාගනිමින් ඒවා උපාදානය කරගෙන ජීවත්වෙනවා. ඉන් එහා උත්තරීතර ධර්මයන් වඩන්නේ නැහැ. මොහුත් සසුන ලිහිල්කොට ගත්තෙක්‌ වෙනවා. මොහු ගසේ අරටුව තිබියදී ගසේ අරටුවයයි සිතා ගසේ සිවිය කපාගෙන යන මනුෂ්‍යයා වගේයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් කුල පුත්‍රයෙක්‌ සිටිනවා. ඔහු ශ්‍රද්ධාවෙන් පැවිදිවී ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වී සමාධිමත් සිතෙන් වාසය කරනවා. ඔහු සමාධි සම්පත්තියෙන් නොසෑහී ඉන් එපිට චුතුපපාතඥාන, පූර්වේනිවාසානුස්‌සති ඥාන වැනි ප්‍රනීත ධර්මයන් සොයමින් වාසයකරනවා. ඉන් එපිට ධර්මයේ උතුම් හරයක්‌ ගැන සිතන්නේ නැහැ. මේ භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ එලය කපාගෙන යන පුද්ගලයාවගේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
තවත් කුල පුත්‍රයෙක්‌ සිටිනවා. ඔහු දක්‍ෂයෙක්‌. ඔහු මේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන් දැකලා ශ්‍රද්ධාවෙන් පැවිදිවෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට බැඳෙන්නේ නැහැ. ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙලා උතුම් සමාධිමත් සිතෙන් වාසය කරනවා. මොහු ශීලයේවත්, සමාධියේවත් ආශ්වාදයට බැඳෙන්නේ නැහැ. මොහු දක්‍ෂයි රූපාචර අරූපාචර ධ්‍යානඵල අනිත්‍යබව දකින්න. උත්තරීතර ප්‍රනීත ධර්මයන් ජීවිතයට ලබමින්ම එම ප්‍රණීත ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව දක්‍ෂයි. ඔහු ශීලය නිසාවත් සමාධිය නිසාවත් නැවත ලෝකයට බැඳෙන්නේ නැහැ. සංස්‌කාරයන්ගේ බියකරු හැටියට දකිමින්ම විදර්ශනා නුවණ ඇතිකර ගන්නවා. සංසාර ගමන කෙලවර කරගන්නවා. මෙම භික්‍ෂුව ගසේ අරටුව සොයාගෙන ගොස්‌ දක්‍ෂ ආකාරයෙන් ගසේ අරටුවම තෝරාගත් දක්‍ෂයා බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තෙරුවන් සරණයි…!!!

~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~