මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශ්‍රේෂ්ඨ ම පෙම්වතුන් යුවළ තමයි සිදුහත් කුමාරයාත්, යශෝධරා දේවියත්. මේ ආදර්ශවත් සුන්දර ප්‍රේමවන්තයන් දෙදෙනාගේ ආදර කථාව කෙටි කාලයකින් අවසන් වුවත් එම කෙටි ප්‍රේම කථාවට කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාව උපකාරයෙන් සකස් වුණ තෘෂ්ණා පච්චයා උපාදානම කියන ධර්මයේ ඥාති බැඳීම තිබුණා.
සිදුහත් කුමාරයාගේත්, යශෝධරා දේවියගේත් කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න ආදර බැඳීම අවසන් කරන අවසාන හෝරාව එළැඹුණු දිනයක් තිබුණා.
ඒ අවසාන හෝරාව එළැඹෙන විට, යශෝධරා උත්තමාවියට වයස අවුරුදු හැත්තෑ අටක්(78) පරිපූර්ණ වෙලා.
නික්ලේශි යශෝධරා උත්තමාවිය බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කොට, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ දාන පාරමිතාව උදෙසා සංසාරයේ බිරිඳක් හැටියට දස දහස් වාරයක් මාව දන් දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම සතුටින්මයි ඔබ වහන්සේගේ දාන පාරමිතාවට උපකාරක ධර්මයක් වුණේ. ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් සියලූ කෙළෙසුන් මුලිනුපුටා දැම්මා. අද රාත්‍රියේ මම සියලූ බැඳීම් සිඳ දැමූ හස්ති රාජිනියක් සේ පිරිනිවන් පානවාය කියලා බුදුරජාණන්වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටී පිරිනිවන් පාන්නට අවසර ලබාගත්තා.
නමුත් මීට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීමක් යශෝධරා දේවියගේ චරිතාපදානය තුළින් ඇයගේ ගිහි ජීවිතයේදී අපි අසා තිබුණා. ලොව්තුරු බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගෙන ප‍්‍රථම වතාවට කිඹුල්වත් නුවර සුද්ධෝදන රජ මාලිගාවට වැඩම කළ දවසේ හය අවුරුද්දක් එකලාම මාළිගාවේ සිටි යශෝධරා දේවිය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන සිත්සේ හඬන්නට පටන් ගත්තා. ආදරය අයිති කඳුළටත් සිනාවටත් නිසාම එදා බුදුරජාණන් වහන්සේ ඇයට සිත්සේ හඬන්නට අවසර දුන්නා.
එහෙත් යශෝධරා උත්තමාවිය පිරිනිවන් පාන්නට අවසර ගත් සුන්දර රාත්‍රියේදී ඇය කඳුළත්, සිනහවත් දෙකම නිරෝධය කරලයි වැඩසිටියේ. යශෝධරා උත්තමාවිය ඒ මොහොතේ විවේකීව වැඩ සිටියේ සංස්කාර නමැති තෙල් අහවරවූ පහන්වැටියේ දැල්වෙන විඤ්ඤාණය නමැති පහන් දැල්ල නිවී යන තෙක් පමණක් වෙයි. එම විඤ්ඤාණය නමැති පහන් දැල්ල ඒ මොහොතේ සුවසේ නිවීයන්නට ඇති.
කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න ප්‍රේම වෘතාන්තයක අවසාන මොහොත උදා වුණේ ආදරයේ සැබෑම අරුත වෙත ආදරයෙනුත්, අනාදරයෙනුත් මිදීම කියන උත්තරීතර නිවීම සාක්‍ෂාත් කොට ගෙනයි