ආනිසංස වැඩි, තනිවම පූජාකරන දානය ද? හවුලේ පූජාකරන දානය ද?

එක දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ස්‌වාමීන් වහන්ස තනිවම වියදම් කර දෙන දානයද හවුලේ පුජාකර දෙන දානයද ආනිසංස වැඩි කියලා. මෙහිදී අපි සිතන්න අවශ්‍යයි දන්දීමේ මුලිකම පරමාර්ථය තෘෂ්ණාව අඩුකරගැනීම බව. දානයන් තුළින් අප දන්දිය යුත්තේ අප තුළ ඇති දුකට හේතුවෙන තෘෂ්ණාවයි. තනිවම පුජාකරන දානයන්ට වඩා හවුලේ පුජාකරන දානවලින් තෘෂ්ණාව කියන කාරණයෙන් ඔබ තවත් බැහැරවෙනවා. නමුත් හවුලේ දෙන දානය පුජා කිරීමේදී අපේ පිංවතුන් මේ කාරණය දැනගත යුතුයි. ඒ දානයේ අර්ථයන් සමඵල කරගැනීමට.

ඔබ සිතන්න කෙනෙක්‌ දානයක්‌ පුජාකරනවා පෞද්ගලිකවම. එම දානය සඳහා ඔහුට රු 500 ක්‌ වැය වෙනවා. මොහුට සිතෙනවා මින්පස්‌සේ පිරිසක්‌ හවුල් කරගෙන දානය පුජාකරනවා කියලා. මේ පිංවත් මහත්මයා තම හිතවතුන් තුන්දෙනෙක්‌ දානයට හවුල්කර ගන්නවා. මේ හවුල්වෙන පිංවතුන් තුන්දෙනා රුපියල් 100 බැගින් රුපියල් 300ක්‌ දෙනවා. ඉතිරි රුපියල් 200 ඉහත දානය හිමි මහත්මයා යොදලා දානය පුජකරනවා. තනි පුද්ගලයා දානය පුජා කරන විට වැය කළේ රුපියල් 500 යි. පුද්ගලයන් හතරදෙනෙක්‌ එකතුවෙලා දානය පුජා කරන විටත් වැය කළේ රුපියල් 500යි. මෙතනදී මොකද සිද්ධ වුණේ. දානය හිමි මහත්මයා රුපියල් 300 ක්‌ ඉතිරි කරගත්තා පමණයි. මේ ආකාරයට පූජා කරන දානය හවුලේ පුජා කරන දානයක්‌ වෙන්නේ නැහැ. එය අර්ථවත් හවුලේ පුජාකරන දානයක්‌ බවට පත්වෙන්නේ දානය හිමි පිංවත් මහත්මයා රුපියල් 500 ම දානයට යොදවනවා නම්. හවුලට එකතුවෙන පිංවතුන් තුන් දෙනාගේ රුපියල් 300 ත් එයට එකතුවෙනවා නම්. එවිට දානයට රුපියල් 800 ක්‌ම වැය කරනවා. එතකොට එය පිරී ඉතිරීගිය දානයක්‌. එම දානයයි හවුල් දානයේ ආනිසංස පක්‍ෂය වැඩිකර දෙන්නේ. එසේ නොවුණහොත් හවුල් දානයේ නාමයෙන් අපි ඇති කරගන්නේ තෘෂ්ණාවමයි.

(බුදුන් දෙසූ මඟ සත්‍ය සොයා ගිය අපේ කාලයේ මුණිවරයෙකුවු මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශනා කරන අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ සටහනකින් උපුටා ගන්නා ලදී)