අනිත්‍යයි කියන සංඥාව මා තුළින් මා බැලුවේ ඔය ආකාරයටයි.

ප්‍රශ්නය :-

අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස, අනිත්‍ය සංඥාව වඩන හැටි විස්තර ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කිව්වහම දැන් අපි ඉර නැගල, ඉර බැහැල යනවා දකිනවා. නමුත් කිසිම කළකිරීමක් ඇති වෙන්නේ නැහැනේ. මලක් ගත්තොත් පරවෙනවා දකිනවා. නමුත් ජීවිතාවබෝධයක් ඇති වෙන්නේ නෑ. මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍ය තාවයක් දැකිය යුතුයි නේ ස්වාමීන් වහන්ස. ඒක කොහොමද උපදවා ගන්නේ..? දියුණු කරන්නේ..? අර කියනවනේ පඤ්ඤා විමුක්ති උදයත්ථ ගාමිණී ….. ආදී ඒකෙ මේ කියන අනිත්‍ය තාවය කොහොමද උපදවා ගන්නේ..? කොහොමද දියුණු කර ගන්නේ..?

(සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.)

පිළිතුර:

ඒක ස්වාමීන් වහන්ස, මම මතු කර ගත්තේ රූපයේ අනිත්‍යභාවය දකිමින් මයි. මොකද මට ගිහි ජීවිතයක් තිබ්බා. මම ගිහි ජීවිතයේ බලාපොරොත්තු වෙච්ච ගොඩක් දේවල් තිබ්බා. මං ප්‍රාර්ථනා කරපු දේවල්. මම මෙහෙම වෙන්න ඕනෑ කියලා හිතපු අවස්ථාවල් ඕන තරම් තිබ්බා ස්වාමීන් වහන්ස. එතකොට මම පැවිදි භාවයට පත් වෙලා, ස්වාමීන් වහන්ස මම හැම වෙලාවෙම ඒ රූපයන් මතු කරල ගත්තා.

මම දේශපාලනඥයෙක් වෙන්න කැමති වුණා නම් ස්වාමීන් වහන්ස, මම එක්තරා රාත්‍රියක දී මේ සියලු දේවල් මතුකර කර, මතුකර කර විදර්ශනා නුවණින් ගත්තා. දේශපාලනඥයා කියන චරිතය ගත්තා. ඒ දේශපාලනඥයෝ දේශපාලනය කරලා, බලයෙන් පිරිහිලා, අවසානයේ ලෙඩ ඇඳේ වැටිල, අංශභාගය හැදිලා, රෝද පුටුවෙන් යනවා නුවණින්, මනසින් මෙනෙහි කරකර බැලුව, ස්වාමීන් වහන්ස. දේශපාලඥයෝ අවසානයේ බෝම්බවලට අහුවෙලා, කුඩුවෙලා විසිරිලා, සවල්වලින් මේ කෑලි එකතු කරනවා මනසින් දැක්කා ස්වාමීන් වහන්ස. දේශපාලනය කරලා අවසානෙදි පරාදවෙලා අඬනවා, කඳුලු සලනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අපි මනසින් බැලුවා ස්වාමීන් වහන්ස. එහෙම, බලමින්, බලමින් දේශාපාලනඥයා කියන රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති කර ගත්තා. එතනින් නැවතුණේ නෑ. ලෝකයටත් ගියා ස්වාමීන් වහන්ස.

මම එක්තරා රාත්‍රියක දී ඇමරිකාවේ හිටපු ජනාධිපති රේගන් අවසානයේ මානසික රෝගියෙක් හැටියට මිය පරලොව යනවා මනසින් දැක්කා ස්වාමීන් වහන්ස. රජිව් ගාන්ධි කියන මහත්මයා බෝම්බයක් දාලා පිපිරිලා කෑලි කෑලි වලට විසිරිලා යන හැටි මනසින් දක්කා. ඉන්දිරා ගාන්ධි කියන කෙනා වෙඩි කාල ලේ මැද්දෙ වැටිලා ඉන්නවා මනසින් දැක්කා, ස්වාමීන් වහන්ස. ජාත්‍යන්තරයටත් අරගෙන ගිය. ඊට පස්සේ ව්‍යාපාර ක්ෂේත්‍රය කියන දේ නුවණින් ගත්තා. ඒ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කෝටිපති, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් විඳින සම්පත්, විඳින සැපයන් මනසින් දැක්කා. දැකලා ඒ ව්‍යාපාර බංකොලොත් වෙලා ඒගොල්ලෝ දුකට පත් වෙලා අඬනවා මනසින් දැක්කා. ඒ ව්‍යාපාර උපාදානය කර ගෙන මැරිලා අවසානයේ සතර අපායේ දුක් විඳිනවා මනසින් දැක්කා ස්වාමීන් වහන්ස. දකිමින් ඊට පස්සේ ජාත්‍යන්තරයට ඒ හිත අරන්ගියා ස්වාමීන් වහන්ස. ජාත්‍යන්තරයේ කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් අන්ත දුප්පත් භාවයට පත්වෙල අවසානෙ මැරෙනව මනසින් දැක්ක. මේ විදිහට මේ හැම රූපයක් ම මතුකර ගනිමින්, මතුකර ගනිමින් විදර්ශනා නුවණ සකස් කර ගත්තා ස්වාමීන් වහන්ස.

පන්සල් වල නායක ස්වාමීන් වහන්සේලා, මහානායක ස්වාමීන් වහන්සේලා ඒ ඒ දේවල් උපාදානය කර ගෙන ඉන්නවා මනසින් දැක්කා. ඒ උපාදානයන් නිසා ඒගොල්ලන් පත් වෙන්නා වූ අපහසු තාවයන්, පත් වෙන්නා වූ ප්‍රශ්න පිළිබඳව නුවණින් මෙනෙහි කරගත්තා. මෙනෙහි කරමින් මනුස්ස ලෝකය තුළ තියෙන්නා වූ සියලුම උපාදානයන් කෙරෙහි තියෙන කැමැත්ත කෙරෙහි තියෙන උපාදානය අඩුකර ගත්තා ස්වාමීන් වහන්ස. නැවත නැවත, නැවත නැවත නුවණින් මෙනෙහි කර කර බැලුවා. තවත් මේ මනුෂ්‍ය ලෝකය කෙරෙහි තෘෂ්ණාවක් තියෙනවාද කියලා. මොකද ඉඳිකටු තුඩක තරම් තෘෂ්ණාවක් යම් තැනක තිබ්බ නම් ඒ ඉඳිකටු තුඩක ප්‍රමාණය ප්‍රමාණවත් විඤ්ඤාණය එතන බැසගන්න. ඒ නිසා ඉඳිකටු තුඩක වත් තෘෂ්ණාවක් තියෙනවාද කියලා නුවණින් මෙනෙහි කළා ස්වාමීන් වහන්ස. මේ ලෝකයේ රජකම ගත්තත් ඒ රජ්ජුරුවොත් ජාති, ජරා, ව්‍යාධි මරණවලට ලක්වෙලා බියෙන් ජීවත් වන හැටි මනසින් දැක්කා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ අවසාන මනුස්ස ලෝකය තුළ ඉඳිකටු තුඩක තරම් වත් තෘෂ්ණාවක් නෑ කියන තැනට එනකම්ම නුවණින් මෙනෙහි කර කර, නුවණින් මෙනෙහි කර කර ගත්තා ස්වාමීන් වහන්ස.

මොකද තමායි දන්නේ තමා තුළ මොන ආකාරයේ කෙලෙස් තියෙනව ද කියලා. තමායි දන්නේ තමා තුළ මොන ආකාරයේ අනාගත බලාපොරොත්තු තිබ්බ ද කියල. එහෙනම් මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර, මනුස්ස ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් නැහැයි කියල එයා සැක හැරල දැනගන්න කම් නම් ස්වාමීන් වහන්ස, මේ විදර්ශනාවන් වැඩුවා. වැඩුණාට පස්සේ එයා නිශ්චිතව දැනගත්තා, දැන් මනුස්ස ලෝකය කෙරෙහි තෘෂ්ණාවක් නැහැයි කියන කාරණය, ස්වාමීන් වහන්ස. මේ මුළු රැයක් පුරාවට මේ වඩන්නේ. ඒ මනුස්ස ලෝකය කෙරෙහි තෘෂ්ණාවක් නැති වෙන කොට එයාට මනුස්ස ලෝකය කෙරෙහි තියෙන තෘෂ්ණාව අත හැරෙනවා.

ඊට පස්සේ එයා දිව්‍ය තල පීර පීරා මනසින් බලනව ස්වාමීන් වහන්ස, දිව්‍ය තල වල කොතැනක වත් හෝ නිත්‍ය වූ, ස්ථිර වූ සැපයක් තියෙනවාද කියල, එයා දකිනවා. එයා ශක්‍රයා කියන රූපය, සතර වරම් දෙවියන් කියන රූපය, සුජම්පතී කියන රූපය මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර දකිනවා. එයා දකිනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා, දෙවියනුත් දිව්‍ය ලෝක වලින් චුත වෙන කොට මල් පර වෙනවා, දහඩිය දානවා, අඬා වැටෙනවා, අප්‍රමාණ දුකට පත් වෙනවා කියලා. එයා දෙවියන් අප්‍රමාණ දුකට පත්වෙලා නැවත දිව්‍ය ලෝක වලින් චුතවෙලා, සතර අපායන්ට වැටෙන හැටි මනසින් දකිනවා. දකිමින් දිව්‍ය ලෝකයේ කල්ප ගාණක් දිව්‍ය සැප වින්දත්, කවදා හරි ඒ අය සතර අපායට වැටෙනවා කියන කාරණය නුවණින් දකිනවා. දකිමින් නැවත නැවත නුවණින් මෙනෙහි කරනවා, නුවණින් මෙනෙහි කරනවා, දිව්‍ය තල කෙරෙහි ඉඳිකටු තුඩක තරම් වත් එයාට උපාදානයක්, කැමැත්තක්, තෘෂ්ණාවක් තියෙනවාද කියලා. එයා දකිනවා, ශක්‍රයා කියන තැන තියෙනවා. මෙතන හිත පිහිටන්න පුළුවන් කියලා. එයා ශක්‍රයා කියන රූපය නුවණින් අරගෙන, නුවණින් අරගෙන, නුවණින් විදර්ශනාවට ලක් කරමින්, ශක්‍රයාත් සතර අපායෙන් මිදිල නැත්නම්, ශක්‍රයාත් නැවත සතර අපායට වැටෙන්න පුළුවන් කියල නුවණින් දකිනවා ස්වාමීන් වහන්ස. මගේ අත්දැකීමයි මම මේ කියන්නේ. මෙහෙම දකිමින්, දකිමින් එයා අවසානයේ දී බලනවා දිව්‍ය තලය කෙරෙහි එයාගේ තෘෂ්ණාවක් තියෙනවාද නැද්ද, ඉඳිකටු තුඩක තරම් වත් තෘෂ්ණාවක් තියෙනවා ද කියල. එයා සැක හැර දැන ගන්නවා දැන් දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව එයාට අත හැරුණා කියන එක.

ඊළඟට එයා බලනවා රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම තල පීර පීරා මනසින් බලනවා, මේවා තුළ නිත්‍ය වූ ස්ථිර වූ සැපයක් තියෙනවාද කියලා. බ්‍රහ්ම තල වල කවදාවත් බ්‍රහ්මයෝ දෙන්නෙක් එකට ඉන්නේ නැහැ. දිව්‍ය තල වල වගේ කණ්ඩායම් වශයෙන් බ්‍රහ්මයෝ කවදාවත් එකට ඉන්නේ නෑ. බ්‍රහ්මයා හැම තැනම ඉන්නේ එකලාව තනියම නැත්නම් එරමිණියා ගොතා ගෙන, නැත්නම් සක්මන් කරමින්. මොකද ඒගොල්ලො තුළ පංච නීවරණ නැහැ. පංච නීවරණ යටපත් වෙලා නිසා දෙන්නෙක් කථා කර කර ඉන්න තැනක් බ්‍රහ්ම ලෝකවල කොතැනක වත් නැහැ. එයා බ්‍රහ්ම තල පීර පීර මනසින් රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම තල දකිනවා. දකිමින් එයා අවසානයේ දකිනවා, මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල වල ඉන්න බ්‍රහ්මයොත්, මේ බ්‍රහ්ම තල වලින් චුත වෙලා නැවත සතර අපායන්ට වැටෙනවා කියල. එයා සතර අපායන්ට වැටෙන බ්‍රහ්මයන් නුවණින්, මනසින් දකිනවා. දකිමින් බ්‍රහ්ම තල කෙරෙහි තියෙන තෘෂ්ණාව එයා අඩු කර ගන්නවා. එයා බලනවා ඉඳිකටු තුඩක තරම් වත් තෘෂ්ණාවක් බ්‍රහ්ම තල කෙරෙහි තියෙනවාද කියලා. එයා දකිනවා මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා කියලා. එයා නුවණින් මෙනෙහි කර කර මහා බ්‍රහ්මයා කියන රූපය විදර්ශනාවට ලක් කරනවා. එයා දකිනවා මහා බ්‍රහ්මයාත් සතර අපායෙන් මිදිලා නැත්නම් මහා බ්‍රහ්මයාත් ආයෙමත් සතර අපායට වැටෙනවා කියන කාරණය ස්වාමීන් වහන්ස. දකිමින් බ්‍රහ්ම තලය කෙරෙහි තියෙන අවසාන කැමැත්තත් විදර්ශනාවට එයා ලක් කරනවා.

එහෙම නම් අවසානෙදී මොකක්ද වෙන්නේ..? මනුස්ස ලෝකය කෙරෙහි තියෙන තෘෂ්ණාවත්, දිව්‍ය තල, බ්‍රහ්ම තල කෙරෙහි තියෙන තෘෂ්ණාවත්, හිඳුණ තැන හිත පිහිටන්නෙ නිවනෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්ස. අනිත්‍යයි කියන සඤ්ඤාව මා තුළින් මා බැලුවේ ඔය ආකාරයටයි ස්වාමීන් වහන්ස.

අතුරු ප්‍රශ්නය:

අනිත්‍යයි කියලා කියන්නේ මේක අනිච්ච චේතෝ සමාධි කියන එක ද ස්වාමීන් වහන්ස..?

පිළිතුර:

ඒක වචනයකින් කියන්න නම් මම දන්නේ නෑ. මගේ ජීවිතයේ මම වඩල තෘෂ්ණාව කියන කාරණය හීන කර ගත්තේ රූපය ඔය ආකාරයට අරගෙනයි. මොකද මම කැමති දේ, මම දන්න දේ, මගේ ස්වභාවය එකක්. තව කෙනෙක්ගේ, තව ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කැමැත්ත තව එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ තමා තුළ තියෙන දේ, තමා ඒ මතුකර කර, මතුකර කර විදර්ශනා නුවණින් දකිමින් ඒවා සමාජයත් එක්ක, ලෝකයත් එක්ක බද්ධ කර ගනිමින් ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕනේ.

හරස් ප්‍රශ්නය:

ස්වාමීන් වහන්සේ කියන්නේ හිතට එන එන හැම අරමුණක්ම අතහැරියා කියන අර්ථයෙන්ද..?

පිළිතුර:

නැහැ, මෙතනින් මතුකර කර ගන්නවා ස්වාමීන් වහන්ස, මේකෙදී. මේකෙදී මතුකර කර, මතුකර කර ඒ රූප ගන්න ඕනේ. මතුකරමින්, මතුකරමින්, මතුකරමින් සමහර විට මේක මුළු රැයක් පුරා වෙන්නත් පුළුවන්. නින්දක් නැහැ. නින්දක් කියන කාරණය එදාට ජීවිතයට අදාළ නැහැ. නින්ද කියන කාරණය අත්‍යවශ්‍ය නැහැ. මොකද එයා සංසාර භය පිළිබඳව, සංසාරය පිළිබඳව දැඩි කළකිරීමකින් ඉන්නේ. ඒ නිසා එයාට ඕනේ මේකෙන් ගැලවෙන්න ඕන කියන කාරණය. ඒ කාරණය තුළ අර වගේ වඩමින්, වඩමින්, වඩමින්, වඩමින් ස්වාමීන් වහන්ස, මනුෂ්‍ය තලය, දිව්‍ය තල සහ බ්‍රහ්ම තල කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි මිඳුණා නම් සිත නැවත පිහිටන්න තැනක් තියෙන්න බැහැ ස්වාමීන් වහන්ස.

අතුරු ප්‍රශ්නය:

ඒ කියන්නේ ස්වාමීන් වහන්ස අපිට මේ සම්මුති මට්ටමේ විපස්සනාවක් ඇති කියන එක ද කියන්නේ. අපි නාමරූප ධර්මවලට එන්න අවශ්‍ය නැද්ද..?

පිළිතුර:

නෑ, ස්වාමීන් වහන්ස. මගේ අත්දැකීම නම් ස්වාමීන් වහන්ස එතනමයි. නමුත් මේක අද කියන්න බෑ. කිවුවොත් අභියෝගයට ලක්වෙනවා. නමුත් මට තියෙන අත්දැකීම ඒකයි ස්වාමීන් වහන්ස. නමුත් මම දන්නේ නෑ තව කෙනෙක් මම කියන දේ පිළිගනීවිද කියලා. මට ඒ කාරණය, මාර්ගය, මොකක් හෝ පොටක් පාදාගන්නට පුළුවන් වුණේ ස්වාමීන් වහන්ස මම ඇත්තටම සූත්‍ර ගැන අභිධර්මය ගැන නොදැන හිටිය නිසා මයි. මම දැන ගෙන හිටිය නම් මට මේ පොට පාදගන්න බැහැ. මම දන්නේ නැහැ මම කියන දේ ඔබ වහන්සේ විශ්වාස කරයිද නැද්ද කියලා. නමුත් නොදන්නා භාවය මයි ස්වාමීන් වහන්ස, දසමයක හෝ දන්නා භාවයක් මා තුළ ඇති කළේ. මම දන්නා භාවය තුළ හිටියා නම් මට මීට වඩා ගැටළු ප්‍රශ්න රාශියක් මතුවෙන්න තිබුණා. මම මුලින් කිව්ව මම සූත්‍ර දැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරල මයි. එතකම් මම සූත්‍ර කියවලා තිබ්බේ නැහැ. අවසානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරලා ශක්තිමත්ව ගමන් කරද්දී සූත්‍ර කියන කාරණය මගේ ජීවිතය තුළ තිබ්බ ස්වාමීන් වහන්ස…!!!

(මෙම සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලා විසිනි.)

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!