පින්වත, පාතාලය මේ දවස්වල මිනී මරනවා ගොඩාක් වැඩියි නේද? පින්වත, කාට හරි තියන වෙඩි පහරක් ඇවිත් වදීවි කියලා, මේ දවස්වල ඔබත් බියෙන් ද පසු වන්නේ? පින්වත, මිනී මැරීම අයිති වන්නේ මිච්ඡා කම්මන්තයන්ට. පින්වත, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචාවෝ සක්‍රීය වුණ තැන, උපදින්නේ මිච්ඡා කම්මන්තයි. පින්වත, මිච්ඡා කම්මන්තයන්ගේ විරුද්ධ අර්ථය සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන්, සම්මා වාචාවන්ගෙන් පෝෂණය වූ සම්මා කම්මන්තයෝයි. පින්වත, මිච්ඡා කම්මන්තයෝ මිනී මරද්දී, සම්මා කම්මන්තයෝ, සියලු සත්ත්වයෝ ‘දීර්ඝායුෂ ලබත්වා!’ කියලා මෛත්‍රිය වඩනවා. පින්වත, බලන්නකෝ සම්මා දිට්ඨියේ සහ මිච්ඡා දිට්ඨියේ වෙනස. පින්වත, අවි ගත්තෝ අවියෙන් ම නැසෙනවා යැයි කීවත්, අවි ගත්ත අංගුලිමාල නම් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඉදිරියේ උතුම් අරිහත්ඵල අවබෝධයට පත් වුණා. හැබැයි ඉතින් කර්මය අපේ සෙවණැල්ල සේ අපි පසුපස පැමිණෙනවා කියන ධර්මතාවය නිසා ම, පිණ්ඩපාතයේ වැඩිය අංගුලිමාල මහ රහතන් වහන්සේ සමහර දිනවල පෙරළා ආරාමයට වැඩියේ, කුමක් හෝ අනතුරකින් රුධිරය වහනය වන තුවාල සහිතව මයි. පින්වත, අතීත මනුෂ්‍ය ඝාතන, මනුෂ්‍ය හිංසන අකුසල් සංස්කාරයෝ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ උතුම් පැවිදි ජීවිතයේත් රුධිරය සෙලෙව්වා. පින්වත් ගෞරවනීය ඔබ පසු පස්සේ අතීත මනුෂ්‍ය හිංසන සහ මනුෂ්‍ය ඝාතනයන්ට අනුබල දීමේ අකුසල් එහෙම තිබෙනවා නම්, කරුණාකර මෛත්‍රියෙන් සහ සීලයෙන් වහ වහා ඒවාට පිළියම් යොදා ගන්න. එසේ නොවුණොත් සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය හේතුවෙන්, “කටෙන් බතල කොළ සිටුවනවා වගේ” ලේසියෙන්, සමාජගත වන මිච්ඡා කම්මන්තයෝ පාලනය කොට ගන්න පහසු වන්නේ නැහැ. මේවා උතුම් හේතුඵල ධර්මයෝයි.
පින්වත, අපේ පටිච්චසමුප්පන්න අතීත කුසල් සහ අකුසල් සංස්කාරයෝ ගැන අපි නොදන්නා නිසා ම, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “වර්තමානයේ කුසල් සිතකින් ම පසු වෙන්න” ය කියලා. අපිට පුළුවන් නම් වර්තමානයේ සතර සතිපට්ඨානය ධර්මයන් තුළ වාසය කරන්න, විපාකයට පැමිණෙන අතීත කුසල් සහ අකුසල් සංස්කාරයෝ ධම්මානුපස්සනාවට ම ආහාරයක් වනවා. පින්වත, අපේ විශ්වාසයන් මහ දවල් සොරු අරගෙන යන සංස්කාර ලෝකයකයි අපි ජීවත් වන්නේ. පින්වත, සියලු අවිශ්වාසයන් මැද්දේ, සියලු සංස්කාරයන් අනිත්‍ය යැයි කියන උත්තරීතර සම්බුදු වදන පමණක්, එහිපස්සිකව අපි හැමෝම ඉදිරියේ බබළමින් තිබෙනවා. පින්වත, අවිද්‍යාවේ පණ කෙන්ද වන තෘෂ්ණාවෙන් උපදින සියලු ලෝක ධර්මයෝ අවිශ්වාසය මුල් කොට ගෙනයි පවතින්නේ. උතුම් නිවනට උපකාරක ධර්මයන් වන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මතාවයන් තුළ දී පමණක් මයි, අපි තුළ විශ්වාසයේ බීජයන් උපදින්නේ. පින්වත, අපි උතුම් රහත්ඵල අවබෝධය ලබද්දී, ලෝක ධර්මයන් සහ ලෝකයෙන් මිදෙන ධර්මයන්, කෙරෙහි විශ්වාසය සහ අවිශ්වාසය ලෝකය තුළ තියලා, අපි මේ අර්ථයන් දෙකෙන් ම නිදහස් වනවා. ඒ කියන්නේ අපි ආර්ය විමුක්තිය ලබනවා. සංස්කාර අළු මතින් මෙතෙක් නැඟී සිටි, තෘෂ්ණාවේ කුරුල්ලාට පටිච්චසමුප්පන්න පැවැත්ම අහිමි කළා වෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව සිදුණ තැන, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට උපාදානයන්ගෙන් තොරව පැවැත්මක් නැහැ. උපාදානයෝ නිරුද්ධ වූ කල්හි, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවේ දී පටිච්චසමුප්පන්න විඤ්ඤාණය තෘෂ්ණාවේ ආහාර නිරෝධයෙන් ම නිවී යනවා.
පින්වත, ඔබ අදට වඩා හොඳ හෙටක් බලාපොරොත්තුවෙන් නේද සිටින්නේ? පින්වත, එම බලාපොරොත්තුව ඔබට අයිති නැහැ. එම බලාපොරොත්තු අයිති, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයට. සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය නමැති මැජික්කරුවා ඉහත තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ බැසගෙන සිටින නිසා ම, හෙට දවසේ අපේ බලාපොරොත්තු ඉටු වෙන්න නම්, ඊට අදාළ යහපත් සංස්කාරයෝ අපි තුළ සූදානම්ව තිබෙන්න ම ඕනේ. පින්වත, වර්තමානයේ අපි තුළ යහපත් සංස්කාරයෝ සූදානම්ව නැති නම්, අපි බලාපොරොත්තු වන යහපත් හෙට, තවත් බලාපොරොත්තු කඩවීමක් ම වන්න පුළුවන්. පින්වත, අපේ අතීත, වර්තමාන පින, ලෝභ, ද්වේශ, මෝහයන් විසින් ගිල ගනිද්දී, පිනේ මහේශාඛ්‍යභාවය සහ පිනේ ප්‍රණීතභාවයන් පිරිහී යනවා. පින්වත, මහ පොළොවෙන් රත්තරන්, දියමන්ති, මැණික් පිරිහී ගියොත්, මහ පොළොවෙන් ලබන වටිනා සම්පත් බවට පත් වන්නේ ගෙවුඩ, දලං, තිරුවාණ වැනි, සම්පත් මයි. පින්වත, වර්තමානයේ හෝ අනාගතයේ දී අපේ පින විපාකයන්ට පැමිණෙද්දී, අපිට ලැබෙන්නේ පිනේ රත්තරන්, මැණික්, දියමන්ති වැනි වටිනා ප්‍රණීත විපාකයන් නොව, ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් දුර්වල වූ අභියෝගයන්ට විවෘත පිනේ නාමික විපාකයෝ මයි. පින්වත, අපි මේ අනතුරෙහි කරවටක් ගිලිලයි සිටින්නේ. ධර්මානුකූලව මෙයට වග කියන්න ඕනේ අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයයි. පින්වත, අවිද්‍යාව තීව්‍ර වෙද්දී, අපි රැස් කොට ගන්නා යහපත් සංස්කාරයෝ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය කොට ගන්නේ නැහැ. අනාගත පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව අපේ පින්කම් තුළ ආස්වාදයේ රිද්මයට දඟර නැටුම් නටනවා. පින්වත, අපේ ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් දූෂිත වූ පින, අභියෝගයන්ට ගොදුරු වන්නේ, පිනෙන් උපදින වර්ණය, සැපය, බලයත් හාස්‍යයට ලක් කරමින් මයි.
පින්වත, උතුම් උපෝසථ අට්ඨාංග සීලයේ ශක්තියෙන් උපදින සක්විති රජ වත, පින හෙවත් වර්ණය, සැපය, බලයේ උත්තරීතර ප්‍රණීතභාවයක්. පින්වත, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ සක්විති රජුගේ වර්ණයයි, සැපයයි. පින්වත, සක්විති රජු දැක්මෙන් ජනතාව සතුටු වනවා. සක්විති රජු ජනතාව සමග සිනාසීමෙන්, වචනයක් කතා කිරීමෙන්, රටේ ජනතාව සතුටු වනවා. පින්වත, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් අලංකෘත වූ, උපෝසථ අට්ඨාංග සීලයෙන් ඉන්ද්‍රීය සංවරභාවයට පත් වූ, රජ කෙනෙක් ජනතාවට ලැබීමත්, පින්වත් ජනතාවගේ අතීත කුසල් මූලයන්ගෙන් පෝෂණය වූ පිනේ ඵලයක් මයි. පින්වත, සක්විති රජු යැයි කියන්නේ රත්තරන්, මැණික්, දියමන්ති වැනි කුසල් මූලයන්ගෙන් සුපිරිසිදු ප්‍රණීත පිනේ ඵලයයි. පින්වත, උපෝසථ අට්ඨාංග සීලයෙන් උපදින ප්‍රණීත පිනේ සංස්කාරයෝ නිසා ම, සක්විති රජුට අභියෝගයන් නැහැ; ජනප්‍රියභාවයෙන් පිරිහීමක් නැහැ; බව බෝග සම්පත්වල පරිහානියක් නැහැ. පින්වත, සක්විති රජ වත ශබ්දකෝෂයේ විරෝධතා, උද්ඝෝෂණ, පාතාලය කියන වචන නැහැ. එහි තිබෙන්නේ සැරදේවා!, දිනේවා!, ජය වේවා!, දීර්ඝායුෂ ලබත්වා! වැනි, ප්‍රණීත පිනේ සිංහ නාදයෝ මයි. පින්වත, සක්විති රජු වගේ ම, සක්විති රජු දැක සතුටු වන ජනතාව යැයි කියෙන්නේ කුසල් මූලයන්ගෙන් මොනවට පෝෂණය වූ ප්‍රණීත පිනේ ඵලයෝ මයි. පින්වත, භික්ෂුව ඉහත සටහන තැබුවේ, අනාගතයේ දී පින්වත් ඔබට වර්ණය, සැපය, බලය සහිත අභියෝගයන් අවම නොසැලෙන පිනේ රත්තරන්, මැණික්, දියමන්ති වැනි ප්‍රණීතභාවයන් ලබන්නට අවශ්‍ය නම්, ඔබ සිදු කරන මෛත්‍රිය, සීලය, දානය සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා වායාමයක් බවට පත් කොට ගන්න කියන කාරණය සිහිපත් කොට දීමටයි.
පින්වත, අපි ලෝකය නිවැරදි වේවා! යැයි ප්‍රාර්ථනා කළාට, ලෝකය නිවැරදි වන්නේ නැහැ. ලෝකය ක්‍රියාත්මක වන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි. සංස්කාරයෝ අපිට නීති පනවලා වෙනස් කරන්න බැහැ. නීති පොත ඇතුළේ රිවෝල්වරය සඟවා ගෙන අධිකරණයන් තුළ, මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ අකුසල් සංස්කාරයෝ මහ දවල් විපාකයට පැමිණෙනවා. අපේ ගරු අධිකරණය සාක්‍ෂි නොමැතිව අසරණ වෙද්දී, සංස්කාර අධිකරණය සාක්‍ෂි නොවිමසා දඬුවම් දෙනවා. අවිද්‍යාව විසින් පංච නීවරණයෝ කුල්මත් කරන සමාජයක් අපි ඉදිරියේ හරි හරියට තිරිහන් වනවා. පින්වත, අපි සාධු! සාධු! යැයි කියලා නිවන් ප්‍රාර්ථනා කළත්, නිවන් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරියේ අපි ප්‍රමාදී වනවා. අපි කර්මය කර්මඵල විශ්වාසය අමතක කරලා, සාංසාරික පුරුද්දට ඇලීම් සහ ගැටීමේ යුද බිම්වල සටන් කිරීමට මයි අපි කැමති. අපිට ඕනේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සහ පංච උපාදානස්කන්ධ දුක් ඉදිරියේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය ඔස්සේ, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය ඔස්සේ විපාකයන්ට පැමිණෙන අකුසල් සංස්කාරයෝ සමග සටන් කරන්න මිසක්, මේ දුක් ගොඩෙන් නිදහස් වෙන්න නම් නොවේ. අපේ උපාදානයෝ පෙරළා අපිව යොමු කරන්නේ දුකට පඬුරු බඳින්න මයි. පින්වත, අපේ පටිච්චසමුප්පන්න අවිද්‍යාව ඇඟලා ගෙන සිටින සංස්කාර නිල ඇඳුම දෙස සිහිනුවණින් බලන්නකෝ, අතීත ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සමග යුද්ධ කරලා, අපි ලබා ගත් මාර පදක්කම්, මාර තරු සහ පටි කොතෙක් නම් සංස්කාර නිල ඇඳුමේ එල්ලාගෙන සිටිනවා ද? පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ යුද බිමේ අකුසල් සංස්කාරයෝ පරාජය කොට අපි ලැබූ කුසල් සංස්කාර ජයග්‍රහණයෝ සිහිපත් වෙන කොට, පටිච්චසමුප්පන්න සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය, අපි ලැබූ මාර පදක්කම්, මාර තරු, පටි ගැන අපිට සිහිපත් කර දෙන කොට, “මම“ දැඩිභාවයෙන් ගත්ත සතුටක් ඇති වනවා නේද? පින්වත, අපි සංස්කාර යුද්ධයෙන් දිනලා සුගතියට යනවා, සංස්කාර යුද්ධයෙන් පැරදිලා සතර අපායන්ට වැටෙනවා, යුද්ධය ඉදිරියේ සාමයට පත් වෙලා, රූපී සහ අරූපී වේදනාවේ ආස්වාදයෝ ලබනවා. පින්වත, මේ ධර්ම දානමය සටහන කියවන මොහොතේත්, ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, යුද බිමේ, දුගතිය පරාජය කොට සුගතියට අදාළව තාවකාලික ධර්ම දානමය ජයග්‍රහණයක් ලබමිනුයි සිටින්නේ. පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. සම්මා සතිය සමඟ සාකච්ඡා කොට, සම්මා සමාධිමත් සිතින් යුද විරාමයක් හෙවත්, ආර්ය විවේකයක් ඇති කොට ගන්න. සංස්කාර, සැහැල්ලු සහ බර අවි බිම තබා, කාය, චිත්ත, ධම්ම, වේදනාවෝ විනිවිද දකින සම්මා ඥාන තුළින් යුද්ධයේ සහ සාමයේ නාමයෙන් සිදු කෙරෙන සංස්කාර මායාවට සමු දෙන්න.
පින්වත, ඇලීම් සහ ගැටීම් විසින් පාලනය කරන ලෝකයක් තුළ ස්වභාව ධර්මය පරාජිතවයි සිටින්නේ. පින්වත් මනුෂ්‍යයාගේ අධිතෘෂ්ණාව විසින් තීන්දු ගන්න කෘත්‍රිම සමාජයක, ස්වභාව ධර්මයට වටිනාකමක් නැහැ. පින්වත, ස්වභාව ධර්මයට නිදහසේ රැකෙන්න නම්, මනුෂ්‍ය ජීවිතවල මධ්‍යම ප්‍රතිපදාව රැකෙන්න ඕනේ. පින්වත, මධ්‍යම ප්‍රතිපදාව යැයි කියන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ ස්වභාව ධර්මයේ හේතුඵල දහමක්. පින්වත, තෘෂ්ණාව තිබෙන තැන ජරා, ව්‍යාධි, මරණ දුක් තිබෙනවා. තෘෂ්ණාවේ නිරෝධයෙන් ජරා, ව්‍යාධි, මරණ දුක් නිරෝධය වනවා. තෘෂ්ණාව සහ දුක නිරෝධය කිරීමේ මාර්ගය, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්වභාව ධර්මය සමඟ බැඳුණ සුන්දර හේතුඵල දහමක්. පින්වත, අපි ස්වභාව ධර්මයට කැමති නැහැ. අපි කැමති කෘත්‍රිම, ආගන්තුක මිච්ඡා ධර්මයන්ට. පින්වත, අපි තෘෂ්ණාව රජ කරලා, දුක සඟවන්න මයි උත්සාහ ගන්නේ. එවිට චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ඉඩෝරය උත්සන්න වනවා. තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් එකට ඇතිල්ලී, සමාජය කම්පිත වන සංස්කාර ලැව් ගිනි හට ගන්නවා. එවිට මනුෂ්‍යයාගේ පංච උපාදානස්කන්ධයෝ අකුසලයෙන් ම ගිනි ගන්නවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ මුල් ඇද ගත්ත මේ ගෞරවනීය පුණ්‍ය භූමියට, තව දුරටත් මිථ්‍යා දෘෂ්ටියේ අඳුරට වැටෙන්න දෙන්න එපා. පින්වත, මිච්ඡා ධර්මයන් ජය ගත යුත්තේ සම්මා ධර්මයන්ගෙන් මයි. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ හුදු පින පමණක් නොවේ, ඔබේ පෙර පිනෙන් ලෝකයේ උපන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ටයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 මාර්තු 02 ඉරිදා දිවයින පුවත්පතින්.