ජීවිතවල තෘෂ්ණාව හිස් කරලා, ප්‍රඥාවේ ආලෝකයෙන් ආධ්‍යාත්මය පුරවන්න.

පින්වත, එක බලාපොරොත්තුවක් ඉටු වෙන කොට, තවත් බලාපොරොත්තුවක් මෝදු වෙනවා. පින්වත, ජීවිතය යැයි කියන්නේ ඉටු වුණ සහ ඉටු නොවුණ බලාපෙරොත්තු ගොඩක්. පින්වත, ඔබ ඇති කොට ගන්නා බලාපොරොත්තුවක් යැයි කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. වර්තමාන පංච උපාදානස්කන්ධය තුළ සිටිමින් අනාගත පංච උපාදානස්කන්ධයෝ ප‍්‍රාර්ථනා කරනවා. පින්වත, ඔබ ඇති කොට ගන්නා අනාගත බලාපොරොත්තුවලට තෘෂ්ණා පච්චයා උපාදානං කියලත් ධර්මානුකූලව කියන්න පුළුවන්. පින්වත, සළායතනයෝ යම් තැනක ද, සළායතනයන්ගේ ඵස්සයෙන් උපදින්නේ ධර්මයක්මයි. පින්වත, නාමරූපයෝ හෙවත් පංච උපාදානස්කන්ධයෝ හේතුවෙන් උපදින සළායතනයෝ, පටිච්චසමුප්පන්න ක‍්‍රියාවලිය තුළ පෙරළා පෝෂණය කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධ ධර්මයෝමයි. පින්වත, අවිද්‍යාව මුල්කොටගත් අතීත, වර්තමාන, අනාගත පංච උපාදානස්කන්ධයෝ අපේ ජීවිත, තෘෂ්ණාවේ උපාදානයන්ගෙන් බැඳ දමලයි තිබෙන්නේ. පින්වත, සළායතනයන්ගේ ඵස්සය තෘෂ්ණාවේ උපාදානයන්ගෙන් මොනවාට බැඳිලා, අපිට හොරා අපිව භවයට නෑගම් අරගෙන යනවා. පින්වත, සළායතනයන්ට රැවටෙන්න, වශී වෙන්න එපා. සළායතනයෝ දුක උපද්දවා දෙන මාර ධර්මයක්. සළායතනයෝ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති භව වධකයාට රැකවරණය ලබා දෙන සිර කුටියක්. පින්වත, ඔබ ඇස් දෙකකට ආදරය කරන්න එපා. ඔබ ඇස් දෙකකට ආදරය කළොත්, ඔබ ආදරය කරන්නේ දුක උපද්දවා දෙන මාර ධර්මයකටයි. පින්වත, ඔබ කන, නාසය, දිව, ශරීරයකට ආදරය කරන්න එපා. මේවා අනාගත දුක උපද්දවා දෙන මාර ධර්මයෝමයි.

පින්වත, දැන් වේලාව රාත‍්‍රී අටට පමණ ඇති. කැලෑ පරිසරයේ නව යොවුන් කළුවර, රාත‍්‍රී නව යොවුන් සඳ එළියත් සමග පෙම් බස් දොඩනවා. පින්වත, ස්වභාව ධර්මයේත් ආස්වාදයක් සහ ආදීනවයක් තිබෙනවා. මේ නව යොවුන් රාත‍්‍රිය ස්වභාව ධර්මයේ ආස්වාදයටයි අයිති වන්නේ. පින්වත, මේ උදා වුණ රාත‍්‍රිය නව යොවුන් වුවත්, එම නව යොවුන් රාත‍්‍රියේ ආස්වාදය සිත් සේ විඳින්න මනුෂ්‍ය අපේ සංස්කාරයෝ ඉඩ නොදෙන්න පුළුවන්. පින්වත, අනුනගේ සිත් රිදවා, අනුනට කායිකව හිංසනයන් කොට, අතීතයේ අපි සකස් කොට ගත් පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාරයෝ හරිම චපලයි. පින්වත, මේ උදා වූ නව යොවුන් රාත‍්‍රිය, මෙය සටහන් තබන භික්ෂුවට රූපයේ සහ කාමයේ ආස්වාදය ගැන කියලා දෙන සුන්දර ධර්මයක් වුවත්, මේ දෙසැම්බර් වැසි සමයේ භික්ෂුව වැඩ සිටින කුටියට පෙනෙන මායිමේ තිබෙන හේන් ගොවි මහත්වරුන්ගේ ගොවිබිම්වලින් නැගෙන රතිඤ්ඤා හඬ, අලි වෙඩි හඬ, අනතුරක් පිළිබඳ බිය, පින්වත, චපල අතීත අකුසල් සංස්කාරයෝ මේ උදා වූ නව යොවුන් රාත‍්‍රියේ ප්‍රේමණීය ආස්වාදය, ඒ අහිංසක ගොවි ජීවිත තුළින් උදුරාගෙන තිබෙනවා.

පින්වත, මේ නව යොවුන් රාත‍්‍රිය කෙනෙකුට ප්‍රේමණීය ආස්වාදයක් වෙද්දී, තවත් පුද්ගලයෙකුට බිය, සැකය මුසු ආදීනවයක් වෙද්දී, තවත් පුද්ගලයෙකුට සද්ධර්මයේ අර්ථයක් ම වෙනවා. පින්වත, ඉහත ආස්වාදයේ සහ ආදීනවයේ නිර්මාතෘවරයා නව යොවුන් රාත‍්‍රියවත්, හේන් ගොවිතැනවත්, සතා සිවුපාවාත් නම් නොවේ. මේ දුක් සහ සැප දෙකේ හිමිකරුවා අවිද්‍යා පච්චයා සංඛාර කියන පටිච්චසමුප්පාද ධර්මතාවයන්මයි. පින්වත, නව යොවුන් කළුවර, නව යොවුන් සඳ එළියත් සමග පෙම් බස් දොඩන මේ නව යොවුන් රාත‍්‍රියේ, තම හේන්වලට පැමිණෙන වන සතුන් එළවීම උදෙසා මේ නිමේෂයේදීත් තබන “හූ” හඬ භික්ෂුවට නම් ඇසෙන්නේ අදාළ පින්වත් ගොවි මහතා, වන සතුන් උදෙසා නොවේ, තමාගේ ම අතීත අකුසල් උදෙසා තමා විසින් ම තබන “හූ” හඬක් ලෙසයි. පින්වත, ලෝකය සම්මා සමාධිමත් සිතකින් තොරව තේරුම් ගන්න බැරි පරස්පරයක්. අපේම අතීත අකුසල් විපාකයන්ට අපිම “හූ” කියනවා. අපේම අතීත කුසල් විපාකයන්ට අපි කොක් හඬලා සිනාසෙනවා. පින්වත, කරුණාකර නවතින්න. ඔබ මේ “හූ” කියමින්, කොක් හඬලා සිනාසෙමින් මේ දුවන්නේත් මිරිඟුවක්, මායාවක්, ඇස් බැන්දුමක් පසුපස්සේයි.

පින්වත, නව යොවුන් රාත‍්‍රියේ ආස්වාදය සහ ආදීනවයෝ ගැන සටහත් තබද්දී, භික්ෂුවට අමතක වුණා, පින්වත් ඔබෙන් අහන්න, “ඔබ රාත‍්‍රියට ආහාර අනුභව කරලා ද ඉන්නේ?” කියලා. මෙය සටහන් තබන භික්ෂුව නම් මේ රාත‍්‍රියේ ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ හිස් කරපු, ස්වාක්ඛාත වූ, සන්දිට්ඨික වූ, ඒහිපස්සික වූ, ඕපනයික වූ, පච්චත්තං වේදිතබ්බෝ වූ විදර්ශනාමය ආහාර වේලක් අරගෙනයි වැඩ සිටින්නේ. හැබැයි ඉතින් මේ විදර්ශනාමය ආහාර වේලට, භික්ෂුවගේ සිත පිරෙන්නෙත් නැහැ, භික්ෂුවගේ උදරය පිරෙන්නෙත් නැහැ. පින්වත, විදර්ශනාමය ආහාරයෝ ජීවිතවල තෘෂ්ණාව හිස් කරලා, ප‍්‍රඥාවේ ආලෝකයෙන් ආධ්‍යාත්මය පුරවනවා. එවිට උදරය කායානුපස්සනාවක් වෙද්දී, සිතුවිලි අනිත්‍ය වූ චිත්තානුපස්සනාවක් ම වෙනවා.

පින්වත, ඇත්තටම මේ නව යොවුන් රාත‍්‍රියේ ඔබ මොනවා ද රාත‍්‍රී ආහාරයට ගත්තේ? තරු පන්තියේ ආහාර වේලක් ද? එසේත් නැතිනම් සාමාන්‍ය ආහාර වේලක් ද? හැබැයි ඉතින් භික්ෂුවට නම් නොසිතුණත් තවත් පින්වතෙකුට සිතෙන්න පුළුවන්, පින්වත් ජනතාව සිය කැමැත්තෙන්ම ලස්සන, පොහොසත් රටක් බිහි කොට ගෙන ඇති නිසා මේ රාත‍්‍රියේ කුසගින්නේ නම් කිසිවෙක් නින්දට නොයන්න ඇති ය කියලා. පින්වත, දේශපාලන ආස්වාදයෝ, පින්වතුන්ලාට අමිහිරි ලෝකය කෙටි ආස්වාදයක් කොට පෙන්වනවා. පින්වත, භික්ෂුව දන්නා තරමින් ලස්සන, පොහොසත් මනුෂ්‍යයා ජීවත් වන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය තුළ පමණක්මයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් උපදින සම්මා සමාධිමත් සිත පමණක්මයි, සැබවින්ම කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව කියන පංචනීවරණ අවලස්සන ජීවිතයෙන් බැහැර කොට දමන්නේ. පංචනීවරණ කියන්නේ ජීවිත ගොඩාක් අවලස්සන කරන, කෙලෙස් දුර්ගන්ධයන් පතුරුවන ධර්මතාවයක්. පින්වත, සම්මා සමාධිමත් සිතින් පංච නීවරණ බැහැර කොට ධර්මානුකූලව දෙවියන්, බ‍්‍රහ්මයන් පවා ප‍්‍රිය කරන ලස්සන ජීවිතයක් මතුකොට ගන්න. එවිටයි පින්වත් ඔබේ ලස්සන ජීවිතය සති, ධම්ම විචය, වීර්යය, ප‍්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා කියන සප්ත බොජ්ඣංග ධර්මයන්ගෙන් පොහොසත් වන්නේ. පින්වත, ලෝකයේ මිල කළ නොහැකි ආර්ය ධනය ඔබට ලබා දෙන පෙරගමන්කරු උතුම් සප්ත බොජ්ඣංගයෝමයි. පින්වත, සම්මා සමාධිමත් සිතින් ලස්සන වෙලා, සප්ත බොජ්ඣංගයන්ගෙන් පොහොසත් වන්න, එවිටයි ධර්මානුකූලව රටක් ජාතියක්, ලස්සන පොහොසත් රටක් ජාතියක් බවට පත් වන්නේ.

පින්වත, පංචනීවරණ ගොල්ලේ බඩපිනුම් ගසන අපේ පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලනය කෙසේ නම් ලස්සන පොහොසත් රටක් බිහි කරන්න ද? කරුණාකර අපේ රටේ පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන නායක පින්වතුන් පංච නීවරණ ධර්මයෝ බැහැර කරලා, සප්ත බොජ්ඣංගයන්ගෙන් ලස්සන පොහොසත් නායකයන් වන්න. එවිට එම පූර්වාදර්ශයෝ ඔස්සේ රටත්, ජනතාවත් ලස්සන වෙලා පොහොසත් වේවි. පින්වත, මේ ලෝක ධාතුවේ පංච නීවරණ කැත කුණු නැති, විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගෙන් ලස්සන සහ පොහොසත් එකම පිරිස ආර්ය මහා සංඝරත්නයයි. ඒ නිසා ම උන්වහන්සේලාට සත්පුරුෂ දෙවියන්, බ‍්‍රහ්මයන් පවා වන්දනා කරනවා. උන්වහන්සේලා අකුසල් පරාජය කොට සමාජයට පින මතුකොට දෙන පුණ්‍ය කෙතක් ම වෙනවා. ඒ නිසාම උන්වහන්සේලා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආර්ය ධනයෙන් ලස්සන, පොහොසත් කරනවා.

පින්වත, කරුණාකර වැරදි කරන්න එපා. දැන දැන, පෙනි පෙනී සිල් පද දුර්වල කොට ගන්න එපා. මිච්චා වාචාවන්ගෙන් අනුන්ව රවට්ටන්න එපා. සමහරුන්ට මේවා වැදගත් නොවන බව ඇත්ත, නමුත් පින්වත් අහිංසක ජනතාව මේ වැරදි දැකලා, එම වැරදිවලට ගැටිලා අප‍්‍රමාණ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් ඇති කොට ගන්නවා. පින්වත, කාය කර්ම, වචී කර්මවලට වඩා මනෝ කර්මයෝ ගොඩාක් බලවත්. කාය කර්මයෝ සහ වචී කර්මයන්ට මුල්වෙන්නේත් ලෝභ, ද්වේශ, මෝහ මනෝ කර්මයෝමයි. පින්වත, අපේ රටේ දේශපාලනය කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ මනෝ කර්මයන්ගේ තෝතැන්නක් නේද? පින්වත, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී පක්‍ෂ සහ විපක්‍ෂ සියලුම ජනතාව තුළ ඇති වූ ද්වේශයේ, වෛරයේ, පළිගැනීමේ චේතනාවෝ මොනතරම් නම් විශාල ද? පින්වත, ඔබේ ඡන්දය පාවිච්චි කිරීමේ දී ඔබ අකමැති කණ්ඩායම් කෙරෙහි පුංචි හෝ ද්වේශය, පළිගැනීමේ සිතුවිලි ඔබ තුළත් සකස් වුණා නේද?

පින්වත, එක් කේන්ති සිතුවිල්ලක්, පළිගැනීමේ සිතුවිල්ලක් ඔබ ඇති කොට ගනිද්දී, මෛත‍්‍රියයට අදාළ ආනිශංසයෝ එකොළහක් ඔබ එපා ය කියලා ප‍්‍රතික්ෂේප කරනවා. පින්වත, මෛත‍්‍රියයේ ආනිශංස ධර්මයෝ එකොළහක් ඔබ ප‍්‍රතික්ෂේප කරද්දී, ද්වේශයට අදාළ අකුසල් විපාකයෝ එකොළහක් ඔබ ජීවිතයට එකතු කොට ගන්නවා. පින්වත, ගෙවී ගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ලක්‍ෂ දෙසීයක් ජනතාව ඡන්දය පාවිච්චි කළා නම්, ලක්‍ෂ දෙසීය වැඩි කිරීම කේන්තියට, ද්වේශයට, පළිගැනීමට අදාළ අකුසල් විපාකයෝ “එකොළහ” කීය ද කියලා සිහිනුවණින් ගණන් හදා බලන්න. පින්වත, ‘ලක්‍ෂ දෙසීය වැඩි කිරීම එකොළහ’. පින්වත, සම්මා දිට්ඨියෙන් තොර අපේ රටේ දේශපාලනය, අපේ රට පව් කන්දක් කරලා නේද? තවමත් නැවතීමක් නැහැ. හැමෝම මේ පව් කන්දට වර්තමානයේ තව තවත් ලෝභ, ද්වේශ, මෝහයෝ ගොඩ ගහනවා. පින්වත, පාසල් දරුවාටත් දේශපාලන වෛරය කාන්දු වෙලා.

පින්වත, මේ දිනවල ඔබ අවිවේකීව ද දන්නේ නැහැ. පුංචි හෝ විවේකයක් තිබෙනවා නම් වර්තමාන සහ අනාගත පපඩම් දේශපාලන සිහින මාලිගාවලින් බිමට බැහැලා, මොහොතක් අතීත පංච උපාදානස්කන්ධයෝ ගැන සිහිපත් කරන්න. අතීතයේ ඔබ සක්විති රජ වෙලා, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් බබළන රූපයක්, දිව්‍ය අප්සරාවක් බඳු ස්ත‍්‍රී රත්නයක්, ඍද්ධියෙන් ගමන් කරන ඇතෙක් සහ අජානීය අශ්වයෙක්, සැඟවුණ ධන නිධානයක් දිවැසින් දකින පුරෝහිත බමුණෙක්, පින්වත, මේ සියල්ල ලැබිලත්, ඔබ එදා සෑහීමට පත් වුණේ නැහැ. පින්වත් ඔබ වර්තමානයේදීත් සොයන්නේ වර්ණය, සැපය, බලයම නේද? ලෝකයම දිග්විජය කරලත් අතීතයේ නොසෑහුණ අපි, මේ වර්තමානයේ බුක්ති විඳින ළදරු සැපයෙන්, බලයෙන් කෙසේ නම් සෑහෙන්න ද? පින්වත, අවම වශයෙන් උතුම් සෝවන්ඵල අවබෝධය නොලැබූ ඕනෑම පින්වතෙකුට වර්ණය, සැපය, බලය ඉදිරියේ සීමාවන් නැහැ. පින්වත, යමෙක් සීමාවන් පෙන්වන්න උත්සාහ කරනවා නම්, එය ඔහුගේ අනාගත සැපය, බලය කෙරෙහි අසීමාන්තික සැඟවුණ තෘෂ්ණාවමයි. පින්වත, කරුණාකර සත්‍යයට විවෘත වන්න. අධර්මය ඉදිරියේ ඔබ ඔබව සඟවා ගත්තත්, උතුම් සද්ධර්මය ඉදිරියේ ඔබව විවෘත කොට පෙන්වනවා. පින්වත, ලෞකික සැපයට සහ සැබෑ දේශපාලන සැපයට මඟ කියන උතුම් දහමක උරුමය ජාතිය සතුව තිබිය දී, උතුම් තෙරුවන් ප‍්‍රතික්ෂේප කොට, අපි මේ දකින සමස්ත ජාතියටම අකුසලය පොම්ප කරන ළදරු සහ බොළඳ ලෝක දැක්ම පිළිබඳව අපි, අපිම ලැජ්ජා වෙමු.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

2024 දෙසැම්බර් මස 15 වැනිදා ඉරිදා දිවයින පුවත්පත.