පිංවත ඔබ මොහොතක් ඔබේ අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරන්න. ඒ කියන්නේ ඔබේ අතීත ජීවිතයට සිත යොමු කරන්න. පිංවත ඔබගේ අතීත ජීවිතය පුරාවට සැප වේදනාවෝ ද වැඩි, දුක් වේදනාවෝ ද? භික්ෂුවගේ අතීත ගිහි ජීවිතයේ දී නම් දුක් වේදනාවෝ ගොඩාක් වැඩියි. සතුටුවීම්වලට වඩා පසුතැවීම් ගොඩාක් වැඩියි. ඒත් ඒ කිසිදු පසුතැවීමකට වර්තමානයේ භික්ෂුවගේ ජීවිතයට හානියක් කරන්න බැහැ. ඒ සෑම අතීත පසුතැවීමක් ම අයිති, අනිත්‍ය වී ගිය අතීත අකුසල් සංස්කාරයන්ට. අකුසල් සංස්කාරයෝ අයිති චතුරාර්ය සත්‍යය නො දන්නා අවිද්‍යාවට. පිංවත ඔබට අයිති නැති අතීත සැප සහ දුක් වේදනාවෝ, ඒවායේ සැබෑ ම හිමිකරුවන් වන අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන්ට ම භාර දෙන්න. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ කියන පටිච්චසමුප්පාද දැක්මෙන් අතීතය වසා දමන්න. පිංවත ඔබට මතක ද පුංචි සන්දියේ ඔබේ අම්මාගේ උණුසුමට තුරුල් වෙලා, අම්මාගේ පියයුරුවලින් මවුකිරි උරා බොද්දි, පුංචි ඔබ ලැබූ සැප වේදනාවෝ, පුංචි ඔබව අම්මා තොටිල්ලේ තබා නළවද්දී, ඔබ ලැබූ සැප වේදනාවෝ ඔබට මතක ද? පුංචි සන්දියේ ඔබ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරද්දී, නංගිලා, මල්ලිලා එක්ක සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් බත් උයද්දී, ඔබ ලැබූ සැප වේදනාවෝ ඔබට මතක ද? පිංවත මේ සෑම අතීත සැප වේදනාවක් ම මායාවක්, මිරිඟුවක්, ඇස්බැන්දුමක් ම නේද? අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයට සංස්කාරයෝ ගොඩ ගසා, අතීත සියලු සැප සහ දුක් වේදනාවෝ මැරිලා ගිහිල්ලා. පිංවත කරුණාකර වර්තමාන සැප සහ දුක් වේදනාවෝ ගැන සිහිනුවණින්, අවදියෙන් සිටින්න.
පිංවත පැවිදි අපේ ජීවිතවලට සිහිනුවණ අරගෙන එන පූර්වාදර්ශී ගුරුවරුන් වෙන්නේ අතීතයේ වැඩසිටිය උතුම් රහතන් වහන්සේලාමයි. උන්වහන්සේලාගේ අතීත පූර්වාදර්ශී ජීවිත වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවනවා. ශාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ ඇතුළු අතීත රහතන් වහන්සේලාගේ ගුණ සුවඳ තවමත් පැතිරිලා යන්නේ, උන්වහන්සේලා සතුව තිබූ ආර්ය සීලයෙන් පෝෂණය වුණා වූ, ආර්ය විමුක්තියේ ශක්තිය නිසාමයි. පිංවත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය මොනතරම් නම් බරක් ද? මොනතරම් නම් බියක් ද? මොනතරම් නම් කෙලෙස් ගොඩක් ද? පිංවත කෙලෙස් බර නිවී ගිය ආර්ය ජීවිතය තුළ මොනතරම් නම් නිදහසක් ඇද්ද? ඒ ආර්ය ජීවිතය මොනතරම් නම් නිවී ඇද්ද? පිංවත ඵස්සය අභියස ලෝකය නවතින, එම නැවතුණ ලෝකය තුළ පිරිනිවී යන තෙක් ජීවත් වෙන ආර්ය ජීවිතය මොනතරම් නම් දුකෙන් පිරුණු ලෝකයට කල්‍යාණ මිත්‍රයෙක් වේවි ද? පිංවත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උදෑසන පිණ්ඩපාතයේ වඩිද්දී, අසරණ ලාදුරු රෝගියෙක් උන්වහන්සේට පිණ්ඩපාත දානය බෙදනවා. ඔහු අසාධ්‍ය ලාදුරු රෝගියෙක්. මේ ලාදුරු රෝගී පිංවතා පිණ්ඩපාතය බෙදද්දී, පාත්‍රයේ වැදීමෙන් හෝ තම ආහාර භාජනයේ වැදීමෙන්, එල්ලෙමින් තිබුණ ඇඟිලි පුරුකක් ආහාරත් සමග ම පාත්‍රය ඇතුළට වැටෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විදර්ශනාත්මක මෙත් සිතින් අසළ තිබූ දිය කඩිත්තක් ළඟ තම දෙපට සිවුර එළාගෙන, පාත්‍රයට වැටුණ ලාදුරු රෝගියාගේ ඇඟිලි පුරුක ලාදුරු රෝගී පිංවතාට පෙනෙන්න ම ඉවත් කරලා, පිණ්ඩපාතය වැළඳුවා. අසරණ ලාදුරු රෝගී පිංවතාට ගොඩාක් සතුටුයි. ඒ සතුට දැකලා සම්‍යක්දෘෂ්ටික දෙවියොත්, බ්‍රහ්මයොත් සාදුකාර දෙන්න ඇති. එදා එම ලාදුරු රෝගියා ඔබ වුණා නම්, භික්ෂුව වුණා නම්, අපි ලබන සතුට කෙසේ නම් වචන වලින් සටහන් තබන්න ද? අතීතයේ වැඩසිටිය ආර්යයන් වහන්සේලා තම නික්ලේශී පිණ්ඩපාතයෙනුත් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කළා. පිංවත එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලාදුරු රෝගී පිංවතාගේ නරක් වුණ ඇඟිලි පුරුක වැටුණ පිණ්ඩපාත දාන පාත්‍රය, ලාදුරු රෝගී පිංවතාට පෙනෙන්න ම ඉවත දමලා, ධනවත් මහේශාක්‍ය ගෙදරකට පිණ්ඩපාතයේ වැඩියා නම්, වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා. පිංවත ආර්ය වංශයේ නික්ලේශී ප්‍රතිපදාව, තම ඇති සහ හැකි දායක පිංවතුන් සතුටු කිරීම උදෙසා නොවේ, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අනාගත ලෝක සත්ත්වයාගේ යහපත උදෙසා ජීවත් කරවීමයි. ගෞරවනීය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ උතුම් පූර්වාදර්ශයයි එදා අපිට පෙන්වලා දුන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා තමාගේ ජීවිතය තුළින්, සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්නෙක් මිස, සම්මා සම්බුද්ධ ශාසනය තුළින් තමා ජීවත් වන්නෙක් නොවේ.
පිංවත මේ ලෝක ධාතුවේ දුර්ලභ ප්‍රතිපදාවක් වන සුන්දර වස්සානයෙන් මාස දෙකක් ගෙවී ගිහිල්ලා. මේ උදෑසනත් භික්ෂුව, “මම සමාදන් වූ වස් සීලය මේ උදෑසන යළි ආවර්ජනය කරමි” යි, සමාදන් වූ වස් සීලයේ මතකය අලුත් කොට ගත්තා. පිංවත වස් සීලය අමතක නොකොට, යළි යළිත් අපේ ජීවිත තුළින් නැවුම් වෙනකොට, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් දීර්ඝායුෂ ලබනවා. පිංවත ලෝකය සතුටු කරන්න යන්න එපා, ලෝකය කියන්නේ දුක. උතුම් ධර්ම විනය නමැති ප්‍රතිපදාව තුළින් සතුට සොයන්න. එවිට ප්‍රතිපදාව තුළින් ලෝකයත් සතුටු වේවි. සුපිරිසිදු වස්සානයක් යැයි කියන්නේ සිවුවනක් පිරිසේ ම වර්ණය, සැපය, බලයයි. පිංවත කුටියේ දොර කවුළුවල පුංචි හිඩැස් අතරිනුත් ශීතල කාන්දු වෙන හිමිදිරි උදෑසනකටයි කුටියේ ඔරලෝසුවේ තත්පර කටුව හඬ නගමින් ඉදිරියට යන්නේ. සතර මහා ධාතුව කිපෙන ගෙරවිලි හඬ ඈත ආකාශයෙන් මේ උදෑසනත් ඇසෙනවා, අදත් දවසම වහීවි. සුන්දර වස්සානයක සැබෑ මතකය ජීවිතයට එකතු කරලා, ගෙවී ගිය දෙමාසයෙන් අඩකටත් වැඩි කාලයක් හැමදාමත් මේ ප්‍රදේශයට වහිනවා. තවමත් තෘෂ්ණාධික මනුෂ්‍යයන්ගෙන් ඉඳුල් නොවූ, නො ඉඳුල් පරිසරය, තම කෘතවේදී යුතුකම එදා සේ ම, අදත් අකුරට ම ඉටු කරනවා. පිංවත පරිසරය හරිම අහිංසකයි; කෘතවේදියි. එයාට ඕනේ එයාගේ පාඩුවේ ජීවත් වෙන්න. එයාගේ කෘතවේදී ජීවිතය තුළින්, එයාම ස්වඋත්සාහයෙන් ම යැපෙන අහිංසක ජීවිතය තුළින්, එයා අපිට නිර්ලෝභීව පිරිසිදු වාතය, ජලය, සෙවණ, ආහාර, නීරෝගීභාවය ලබා දෙනවා. පිංවත මනුෂ්‍ය අපි පරිසරයට හිංසා නොකළොත්, පරිසරය විසින් මනුෂ්‍යයාව නීරෝගීව ජීවත් කරවනවා. අපි පරිසරයට හිංසාවන් කළොත් අපිත්, පරිසරයත් යන දෙක ම රෝගීභාවයටයි පත් වෙන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේ පමණක්මයි තම පැවිදි ශ්‍රාවකයන්ට ගසක කොළයක් කඩන්න එපා, ගසක අත්තක් සිඳින්න එපා, මහ පොළොව හාරන්න එපා, දිය පහරකට මුත්‍ර කරන්න, කෙළ ගසන්න එපා යැයි කියලා විනය ශික්‍ෂා පද පනවන්නේ. පිංවත මනුෂ්‍යයාගේ කායික සහ මානසික නීරෝගීභාවය උදෙසා නො ඉඳුල් පරිසරයේ ඇති වටිනාකම බුදුරජාණන් වහන්සේ අපේ විනය ශික්‍ෂා පද තුළින් මතු කොට දී තිබෙනවා. පිංවත බුදු දහම නො ඉඳුල් පරිසරය මුල් කොට ගෙන වර්ණය, සැපය, බලය ලබන දහමක්. පරිසරය තෘෂ්ණාවෙන් ඉඳුල් වෙලා කොන්ක්‍රීට්ගත වෙද්දී, බුදු දහමේ උතුම් අර්ථයනුත් ඉඳුල් වෙලා යනවා. පිංවත කැලෑ පරිසරයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න, තවදුරටත් කැලෑ පරිසරයට සිමෙන්ති බාන්න එපා.
පිංවත හැදෙන ගස දෙපැත්තෙන් ම පෙනෙනවාය කියලා කතාවක් සමාජයේ තිබෙනවා නේද? අන්න ඒ වගේම හැදෙන මිනිසා දෙපැත්තෙන් ම පෙනෙන්න ඕනේ. වර්තමානයේ දෙපැත්තෙන් ම පෙනෙන පිංවත් මනුෂ්‍යයෝ හොඳටෝම අඩුයි. පිංවත දෙපැත්තෙන් ම පෙනෙන පිංවත් මනුෂ්‍යා යැයි කියන්නේ, තමාගේ ජීවිතය ඉදිරියට පැමිණෙන අතීත කුසල් සහ අකුසල් යන දෙයාකාරයේ ම සංස්කාරයෝ අකුසලය උදෙසා නොව, උතුම් අවබෝධාත්මක විදර්ශනා නුවණ උදෙසා මෙහෙයවන ශාසනයේ අති දක්‍ෂයාටයි. පිංවත අපි විපාකයට පැමිණෙන කුසලය ඉදිරියේත්, අකුසලය ඉදිරියේදීත් අපිව මෙහෙය වන්නේ පෙරළා ලෝභ, ද්වේශ, මෝහයෝ දිශාවට ම නම්, දුශ්ශීලභාවයේ දිශාවට නම් අපි දෙපැත්තෙන් ම අසාර්ථක නො හැදෙන මනුෂ්‍යයෙක් බවටයි පත් වෙන්නේ. පිංවත සම්මා දිට්ඨිය මීටර් සියයේ වේගයෙන් දුර්වල වෙන සමාජයක, මුලින් ම හති දමන්නේ, මනුෂ්‍යාගේ ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රීය ධර්මයෝමයි. පිංවත රටේ දේශපාලනය සහ ආර්ථිකය පිරිහී යන වේගයට ම, රටේ පිංවත් ජනතාවගේ ඉන්ද්‍රීය ධර්මයෝ පිරිහීමේ දිශාවට ගමන් කරනවා. එය ලෝකයට ම පොදු ධර්මතාවයක්. අතීතයේ අපේ රටේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලය දුර්වල වී, භික්ෂු උපසම්දාව පවා අතුරුදහන් වෙලා ගියේ, එදා පැවති රාජ්‍ය දේශපාලනයේ සහ ආර්ථිකයේ පිරිහීම් මුල් කොට ගෙනයි. රජවරුන්ගේ අධාර්මික, බලකාමී ප්‍රතිපදාවන් නිසාමයි. පිංවත ජාතික මැතිවරණයක් අතේ දුරින් තිබෙන මොහොතක, දේශපාලන ආස්වාදයෝ, දේශපාලනය තුළින් උපයා ගත් කළු සල්ලිවලින් බඩපිනුම් ගසන මොහොතක, ඉහත ලෝක ධර්මයෝ පිළිබඳව සිහිනුවණ ඇති කොට ගන්නට පිංවත් ජනතාව වග බලා ගන්න ඕනේ. පිංවත හිඟන ආර්ථිකයක්, හිඟන ජීවිතයක්, පිරිහී යන සංස්කෘතියක් තුළ සිංහල බෞද්ධකමක් තිබෙන්නට විදියක් නැහැ. සිංහල බෞද්ධකම ජාතික සහජීවනයට මුල් තැන දෙන, ස්වයංපෝෂිත ආර්ථිකයකට, සීලාචාර මනුෂ්‍ය ධර්මයටත් මුල් තැන දෙන ජීවන දහමක්. ඒ උත්තරීතර ජීවන දහම තුළ ජයග්‍රහණයෝ මිස පරාජයන් තිබෙන්නට බැහැ. ඒ උත්තරීතර දහම පරාජයත් ජයග්‍රහණයක් බවට පත් කොට ගැනීමට පාර කියන දහමක්. පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ සංස්කාරයන්ගෙන් පන්නරය ලැබූ, භික්ෂු ජීවිතයක අත්දැකීම් තුළින්මයි. තමන් ඉදිරියට විපාකයට පැමිණෙන කුසල් සහ අකුසල් සියලු සංස්කාරයෝ ධර්මයේ උපේක්‍ෂාවට, විදර්ශනා නුවණට පෙරළන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එතැනයි ජීවමාන සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව වැඩ සිටින්නේ.
පිංවත මේ ලෝක ධාතුවේ උත්තරීතර ම බල ධර්මයෝ දරා ගත් උත්තමයා බවට පත් වෙන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේයි. උත්තරීතර ශාස්තෘන් වහන්සේගේ ගුරු උපදේශයන්ට යටත්ව බල ධර්මයෝ පරිපූර්ණ කොටගත් ඊළඟ අති දක්‍ෂයෝ බවට පත් වෙන්නේ අතීතයේ වැඩ සිටිය උතුම් රහතන් වහන්සේලාමයි. ඊළඟට අනාගාමී, සකෘදාගාමී, සෝවාන් උතුම් ඵල අවබෝධයන් ලැබූ ආර්ය උත්තමයෝ උතුම් බල ධර්මයෝ ප්‍රගුණ කරමින් වැඩ සිටිනවා. පිංවත ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයන් දෙදෙනා බල ධර්මයන් තවමත් ජීවිතයට එකතු කොට නො ගත්, ඉන්ද්‍රීය ධර්මයන් ප්‍රගුණ කරන පිංවතුන් දෙදෙනා බවට පත්වෙනවා. පිංවත පෘථග්ජන පිංවතා ඉහත ධර්මයෝ කිසිවක් හඳුනන්නේ නැහැ. ඔහුගේ දහම මිථ්‍යාදෘෂ්ටියයි. පිංවත මෙයයි සම්මා සම්බුද්ධ ශාසන අර්ථයන්ගේ අවබෝධයේ සහ අනවබෝධයේ මාර්ග සිතියම. පිංවත සියලුම උත්තරීතර බල ධර්මයෝත්, දුර්වල ඉන්ද්‍රීය ධර්මයෝත්, නො වටිනා පෘථග්ජන ධර්මයෝත් යන සියලුම සංස්කාර ධර්මයෝ අනිත්‍ය වී යන සංස්කාර ලෝකයක, හැදෙන ගස දෙපැත්තෙන් ම පෙනෙනවා වගේ, හැදෙන පිංවත් මනුෂ්‍යයා දක්‍ෂ විය යුතුයි, ඉහත සියලුම අන්‍යයන්ගේ බල ධර්මයන් සහ ඉන්ද්‍රීය ධර්මයන් තුළින් තමාගේ අවබෝධ ඥානයට මඟ හෙළි කොට ගන්න. සමාජගත පෘථග්ජන ධර්මයෝත්, පිංවත් දක්‍ෂයාගේ අවබෝධය උදෙසා ම විය යුතුයි. පිංවත සම්මා සම්බුද්ධ ශාසනයේ, අවබෝධ ඥානයේ පෝෂණීය අස්වැන්න ඇලීම් සහ ගැටීම් බැහැර වූ උපේක්‍ෂාවේ අර්ථය තුළයි ශක්තිමත් වෙන්නේ.
පිංවත මේ ලෝකධාතුවේ උත්තරීතර ම ශාස්තෘන් වහන්සේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේයි. බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘභාවය මහා කරුණා ගුණයෙන් මොනවට පෝෂණය වෙලයි තිබුණේ. බුදුරජාණන් වහන්සේ සත්ත්වයාව පිනට, දශ කුසල් ධර්මයන්ට, විදර්ශනා නුවණ දිශාවට පමණක්මයි යොමු කළේ. බුදුරජාණන් වහන්සේ දශ පාරමී ශක්තියෙන් තමන් වහන්සේ දුක නිරෝධය කොට, අපට ද දුකෙන් මිදීමේ මාර්ගය කියලා දුන් උත්තමයෙක්. පිංවත එවන් ශාස්තෘන් වහන්සේ නමක් සරණ ගිය අපිට, වර්තමානයේ කුමක්ද මේ සිද්ධ වෙන්නේ? ආත්මාර්ථකාමීභාවයෙන්, බල කාමයෙන්, අකුසලය කෙරෙහි අරටු බැහැපු තෘෂ්ණාවෙන්, අපි සියල්ලෝ ම අතරමං කොට දමලා. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් කියලා භේදයක් නැහැ, අපිව පාලනය කරන්නේ අපි නොවේ. අපිව පාලනය කරන්නේ අපේ විනාශය ම දකින්න කැමැති දේශීය සහ ජාත්‍යන්තර මාර ධර්මයෝ විසින්. මේ මාර ධර්මයන්ගේ එකම සිහිනය ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, දේශපාලන අරාජිකත්වයෙන්, ජාත්‍යන්තර ණය උගුල්වලින්, මේ කුමකින් හෝ ඔබේ මාතෘ භූමිය අරාජිකභාවයට පත් කරන්න. අපි ඇනකොටා ගන්න, මිනී මරා ගන්න, අපි ම අපිව විනාශ කොට ගන්නා ජාතියක් බවට පත් කොට දමන්න. පිංවත අපේ නායක පිංවතුන්ට අවශ්‍ය රට, ජාතිය, දිනවන්න නොවේ. තම තමන්ගේ සහ ජාත්‍යන්තර මාර ධර්මයන්ගේ බලකාමී, තෘෂ්ණාධික අරමුණ දිනවන්න. පිංවත හෙට ජාතිය ඉදිරියේ තිබෙන්නේ ඉදිරි ජනපති මැතිවරණයෙන් කවුරු දිනනවා ද කියන ප්‍රශ්නය නොවේ. කවුරු දින්නත්, පරණ අච්චුවටමයි ජයග්‍රහණය වැක් කෙරෙන්නේ. පිංවත හෙට ජාතිය යම් පමණකට හෝ දිනන්න නම් මනුෂ්‍ය ධර්මයන්ට ගරු කරන ජාතික එකමුතුවක්මයි අත්‍යවශ්‍ය වෙන්නේ. පිංවත මේ උදාවෙලා තිබෙන්නේ ජනාධිපතිවරණයේ අවසාන තුරුම්පු අදින අවසාන සතියයි. අරගලයක උණුසුමෙන් රාජ්‍ය නායකත්වයට පත් වූ පිංවත් නායකයෙක් පාලනය කරන රටක, යළි සාමකාමී බල හුවමාරුවක් උදෙසා පිංවත් ජනතාවගේ විනය, ඉවසීම, ආවේගශීලී නොවීම ගොඩාක් වටිනවා. අධිකරණයේ ස්වාධීනත්වය මහමෙරක් ම වෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2024 සැප්තැම්බර් 15 ඉරිදා දිවයින පුවත්පතින්.