මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ට කිරි මවක් සිටියා. ඒ කිරි මවත් අතීත බුද්ධශාසන වල බොහෝ පින්කම් සිදු කර ගෙන සිටි කාන්තාවක්. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වුණාට පසුව මේ කාන්තාවත් පැවිදි වුණා. පැවිදි වූවත් ඇය කාමරාගයෙන් දැඩි සේ පීඩාවට පත් වුණා. එක් සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්නට ඇයට බැරි වුණා. කාමරාගයෙන් තමන්ව ගලවා ගන්නට බැරි තැන ඇය අත් දෙකෙන් හිස බදාගෙන අඬන්නට වුණා. පැවිදි වෙලත් අවුරුදු විසි පහක් ඇය මේ විදිහට දුක් වින්දා. අවුරුදු විසි පහකට පසුව මෙතුමිය ධම්මදින්නා තෙරණින් වහන්සේ ළඟට ගියා. තමන්ගේ හිත කාමයෙන් පීඩාවට පත්ව තිබෙන ආකාරය ගැන කිවුවා.
ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ මේ තෙරණියට ස්කන්ධ ගැන කියා දුන්නා. ධාතු, ආයතන, ඉන්ද්‍රියයන් ගැන කියා දුන්නා. මේ තෙරණින් වහන්සේ ඉතාම හොඳින් ඒ ධර්මය ඉගෙන ගත්තා. ආත්මය කියලා, මම කියලා, සත්ත්වයා, පුද්ගලයා කියලා හිතුවට එහෙම දෙයක් නැති බව හොඳටම අවබෝධ කරගත්තා.
හේතූන් නිසාම හටගන්න, හටගත්තත් ක්ෂණයක් ක්ෂණයක් පාසා නැතුව යන, රූප ධර්ම ඇය, කම්ම, චිත්ත, සෘතු ආහාර කියන හේතූන්ගෙන්ම හටගන්න ධර්ම බව අවබෝධ කරගත්තා. ඒවා ඉබේ හටගන්නේ නැති බවත්, සර්ව බලධාරියෙක් හෝ ලොව මැවුම්කරුවෙක් ඒවා මවන්නේ නැති බවත් ඇය අවබෝධ කරගත්තා. සිත ගැනත්, සිතෙහි යෙදෙන වේදනා, සංඥා, සංඛාරයන් ගැනත්, ඒ විදියටම හේතු-ඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය ඇය අවබෝධ කරගත්තා. රූපය වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණන්ට ප්‍රත්‍ය වන ආකාරයත්, වේදනා සංඥා සංඛාරන් රූපයට ප්‍රත්‍ය වන ආකාරයත්, සියලු අකුසල ධර්ම ගැනත්, බෝධිපාක්ෂික ධර්ම ආදි සියලු කුසල ධර්ම ගැනත්, සත්ත විඥානඨිති, නව සත්තාවාසයන්, ගති, යෝනි ආදී සියලු ධර්මතාවයන් ගේ පටිච්ච්සමුප්පාද වැඩපිළිවෙළ ඇය නුවණට හසු කර ගත්තා.
අවසානයේදී මේ තෙරණින් වහන්සේ පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ලබා ගනිමින්, දිවැස ලබා ගනිමින්, සිත් දැන ගැනීමේ නුවණ ලබා ගනිමින්, දිව කන පිරිසිදු කරමින්, සෘර්ධි බලය ලබා ගනිමින්, ආස්‍රව විනාශ කරමින් ෂඩ් අභිඤ්ඤා ප්‍රත්‍යක්ශ කරමින් සියලු කෙලෙසුන් නසා මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත්වුණා.
සසර ඔබ අතරමං කරන කාමයට කිසිසේත්ම ඉඩ දෙන්නට එපා. මේ වටිනා මනුස්ස ජීවිතයේ දී මාර්ග ඵලාවබෝධයෙන් කෙළෙසුන් නසන්නට උත්සාහවන්ත වෙන්න. යම් හෙයකින් හේතු සම්පත් නොමැති නම්, මේ සිදු කරන පූර්ව භාග ප්‍රතිපදාව හේතු සම්පත් වී, ඉක්මන් භවයකම හේතු සම්පත් මුහුකුරා ගොස් චතුරාර්ය සත්‍යාවබෝධ ඥානයෙන් කෙලෙසුන් නසා නිවන් දකින්නට පුළුවන් වේවි.
තෙරුවන් සරණයි!
අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ.
මිණිපුර අමා ශාන්ති නිකේතනය.