පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා, ආනිසංස පහක් ලැබෙනවා. මොනවද ඒ පහ?
පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනා ඒ සිල්වත් බව නිසා අප්‍රමාදී කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා එයාට සැප සම්පත් ගොඩක් ලැබෙනවා. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන පළවෙනි ආනිශංසය.
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනාගේ යහපත් වූ කීර්ති රාවය හැමතැනම පැතිරිලා යනවා. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන දෙවෙනි ආනිශංසය.
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනාට යම්කිසි පිරිසක් ඉදිරියට යන්න වුනොත් ඒ කිව්වෙ රජ කුලයේ පිරිසක් ඉදිරියට හරි, බමුණු කුලයේ පිරිසක් ඉදිරියට හරි, ගෘහපතිවරු පිරිසක් ඉදිරියට හරි, ශ්‍රමණ පිරිසක් ඉදිරියට හරි, ඔහුට ඉතාම නිර්භීතව, කිසිම චකිතයක් නැතුවම යන්න පුළුවන්. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන තුන්වෙනි ආනිශංසය.
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනාට හොඳ සිහි නුවණින් මිය පරලොව යන්න පුළුවනි. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන හතරවෙනි ආනිශංසය.
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනා තමන්ගේ කය බිඳිලා, මිය පරලොව ගිහිල්ලා උපදින්නේ සැප සහිත දෙව්ලොව වන සුගතියේ. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන පස්වෙනි ආනිශංසය.
පින්වත් ගෘහපතිවරුනි, මෙන්න මේවා තමයි සිල්වත් කෙනාට, එයාගේ සිල්වත් බව නිසා ලැබෙන ආනිශංස පහ.”
– පාටලීගාමීය සූත්‍රය –