බුදුරජාණන්වහන්සේ ඇසුරේ ඉන්න පිංවතුනි.

පින්වතුනි , අද අපිට media වලින් ගොඩක් මේ ධර්මය ඇහෙනවා. ඒ උනාට මිනිස්සුන්ගෙ පවිත්‍ර භාවයක් නැති නිසා ඒවා පිළිගන්න මිනිස්සුන්ට හිතෙන්නේ නෑ. අපිට සිද්ද වෙන දේවල් අපි දුක් ඇතිවෙන විදියටයි හිතන්න පුරුදු වෙලා ඉන්නේ පින්වතුනි. ඒවා හිතට සහනයක් ගෙන දෙන විදියට හිතන්න අපිට පුරුදු නෑ . කකුල මදුරුවෙක් කෑවම කකුලේ කෑල්ලක් කපාගෙන ගියා කියලා වගේ තමයි අපි හිතන්නේ. අපිට ඒ දේවල් ලොකූ දුකක් විදියට දැනෙන්නේ අපි අපවිත්‍ර නිසයි. අපි වෙනස් විදියට හිතන්න ගත්තොත් අපිට දුක් දැනෙන්නේ නැතිව යනවා.

කෙනෙක් දිහා බලලා තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාට මහා දුකක් ලැබිලා කියලා . ඒත් එයාට එහෙම දෙයක් නෑ. එයාට ඒක විශාල දුකක් නෙවෙයි .එයා දකිනවා ඒක සිදුවීමක් විතරයි කියලා . එහෙම දකින්න පින්වතුනි කරන්න ඕනෙ දේ තමයි ඒ ඒ වෙලාවට සතිය පිහිටුවාගෙන ඉන්න එක . ඉස්සරහට කරන්න තියෙන දේ දැනගෙන ඉන්න ඕනෙ . හැබැයි ඒ ගැන දැන් කරදර වෙන්න එපා පින්වතුනි . ඔබ දැන් මේ මොහොතේ කළ යුතු දේවල් කරන්න . ඉස්සරහට කරන්න තියෙන දේවල් ඒ වෙලාවට කරන්න . මේ මොහොතේ සිහිය පවත්වාගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් miracles අත්විඳින්න පුළුවන් වෙනවා . එහි ලොකු බලයක් තියෙනවා . හැබැයි ඒක හරිම කළාතුරකින් කෙනෙකුටයි කරන්න පුළුවන් වෙන්නේ . අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ හිත එහෙට මෙහෙට දුවවන්නයි හැම දේටම worry වෙන්නයි තමයි . හැබැයි ඔබ අනිත් දේවල් ඔක්කොම පැත්තක තියලා මේ මොහොතේ ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔබේ ජීවිතයේ විශාල වෙනසක් ඔබට දකින්නට පුළුවන් වෙනවා.
මම ඒක ගිහි ජීවිතයේ අත්වින්දා.

මේ ධර්මය කියන්නේ මැණික් වගේ දෙයක් පින්වතුනි , ඒ ධර්මය ඔහේ හැමෝට ම නිකං ම දෙන්න මම කැමති නෑ. පින්වතුන් මේ වටිනා ධර්මය මගෙන් අරං කලින් හිටියාට වඩා වෙනස් වෙලයි මෙතනින් යන්න ඕනෙ . මෙහෙම මේ දේවල් අහන්නත් මේ පින්වතුන් පාරමී පුරලා තියෙන්න ඕනෙ. හැබැයි මම ඒක මෙහෙම කියන්න කැමතිත් නෑ, මොකද එයින් මමත්වයක් ඇති වෙන්න පුළුවන් නිසා .

ඉතින් අපි ඔක්කොම මුළු ලෝකෙම සසර දුකක ඉන්නේ . ගොඩක් දෙනෙක් ඒක දන්නේ නෑ. අපි ඒ නිසා හැමෝට ම මෛත්‍රියෙන් ඉන්න ඕනෙ . ඒ හැම කෙනෙක් ම අපිට සසර සම්බන්ධතා තිබුණු අය. ඒ නිසා අපි මෛත්‍රී සිතිවිලි නිරතුරුව ම අපේ හිතේ ඇති කරගෙන ඉන්න ඕනෙ . බෞද්ධයන්ට සිංහලයන්ට විතරක් නෙවෙයි මුළු ලෝකෙට ම පින්වතුනි. බුදුරජාණන්වහන්සේගේ කරුණාව මෛත්‍රිය අපිට ඇති කර ගන්න බෑ. ඒත් අපිට පුළුවන් තරමින් අපි මහා කරුණාවක් හැමෝම කෙරෙහි පවත්වන්නට ඕනෙ .අපිට කරදර හිරිහැර කරන කෙනා ගැන උනත් කරුණාවක් මෛත්‍රියක් තියෙන්න අපි ගාව තියෙන්න ඕනෙ. එතකොට අපිට කරදර කරන්න කාටවත් බැරි වෙනවා. අපේ මෛත්‍රිය කරුණාව ඒ අයට දැනෙනවා . අපි ඒ විදියට හිතින් පිරිසිදු වෙලා නොහිටියොත් අපිට සූත්‍ර දේශනා අපේ හිතේ රැඳෙන්නේ නෑ. අපි සූත්‍ර කියවනවා අහනවා හැබැයි ඒ අහලත් කියවලත් අපි ඉන්නේ ඉස්සර හිටිය විදියට ම නම් එහෙම වෙන්නේ අපි පිරිසිදු නැති නිසයි. අපේ අඩුපාඩු දැකලා නිහතමානී වෙලා ඒවා හදාගත්තා ම තමයි දහම අපේ මනසට වැදිලා අපිට ඒ කාරණා තහවුරු වෙන්නේ .

ලංකාවේ ගොඩක් බණ ඇහෙනවා ඒත් කවුරුත් වෙනස් වෙන්නේ නෑ කියලා මට දවසක් මහත්තයෙක් කිව්වා . එදා මට ඒ ඇයි කියලා තේරුනේ නෑ. හැබැයි මම හෙව්වා ඇයි ඒ කියලා . අද මම දන්නවා ඒ ඇයි කියලා. ධර්මය මිනිස්සුන්ට කියන්න ඕනෙ ස්වාමින්වහන්සේ පළමුව ඒ දහම් කරුණු පිළිපැදලයි. එතකොට කස ගහනවා වගේ ඒක අහන කෙනාට ඒ කාරණා දැනෙනවා. ස්වාමින්වහන්සේ වෙනස් වෙලයි ඒක මිනිස්සුන්ට කියන්න ඕනෙ. අහන කෙනත් එහෙමයි. එයා පිරිසිදු වෙලයි ඒ දහම අහන්න යන්න ඕනෙ . පිරිසිදු හිතකටයි ඒ දහම අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නේ .

අපි අතින් වැඩිපුරම වෙන දෙයක් තමයි බොරු කියන එක. බුදුරජාණන්වහන්සේ රාහුල සාමනේරයන් වහන්සේට දේශනා කරනවා සෙල්ලමටවත් බොරු කියන්න එපා කියලා.
මගෙ ජීවිතේත් තියෙනවා කළුවර පැති. මම ඒ වැරදි හදා ගනිමින් තමයි මේ ගමන යන්නේ . තමන්ගේ වැරදි හදා ගැනීම උත්තමයන් වහන්සේලාගේ ගුණයක්.

අපි වැරැද්දක් කළා ම ඒක හදා ගන්න තමන්ට පොරොන්දු වෙන එක අපිට ලොකු ආරක්ෂාවක්. ඒ වගේ ම ඒ වැරැද්දෙන් අපිට වෙන හානිය ගැන හිතලා ඒක නොකර ඉන්න උත්සාහ කරන්න ඕනෙ. හැබැයි අපි නොයෙක් මිථ්‍යා මත හිතේ තියාගෙන ඒ වැරදි කරනවා නම් ඒකෙන් මිදෙන්න හරි අමාරුයි . මොකද එතකොට ඒ වැරද්ද හරි විනෝදාත්මක දෙයක් විදියට යි අපිට දැනෙන්නේ . ඒක හරි භයානකයි . ඒ මිථ්‍යාවෙන් මිදුණොත් ඒකෙ භයානක බව එයින් අපිට ලැබෙන දුක අපිට පේන්න ගන්නවා .

අපිට නිවනට බාධා කරන ලොකුම කෙළෙස් තමයි , රාග ද්වේශ මෝහ . දැන් අළුත් තාක්ෂණයත් එක්ක අපිට රාග ද්වේශ මෝහ සිත් නිතර සකස් වෙනවා. මේ අළුත් තාක්ෂණය ගොඩක් පරිහරණය කරන්නේ මාරයා යි . එයා computer එක හරහා හොඳට ක්‍රියාත්මක වෙනවා . අපිට ඒක බැලූ බැල්මට පේන්නේ නෑ.
Computer එක හරියට යක්ෂයාගේ පූජාසනයක් වගෙයි.
ගොඩක් හානියක් වෙනවා අපි නොදැනුවත්ව ම computer එකෙන්. ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත්.

ඕනෙ ම දේක දි රාග ද්වේශ මෝහ ඇවිස්සෙනවා නම් ඒක damage එකක් කියලා අපි අඳුනගන්න ඕනෙ. අපිට මුණ ගැහිලා ඉන්න අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දූ දරුවන් වගේ ම අපේ කර්මවලින් අපේ ජීවිත එක්ක වෙනත් ජීවීනුත් බැඳිලා ඉන්නවා . නොපෙනෙන අය. ඒගොල්ලො අපිව සමහර තැන්වල දී නොමඟ යවන වෙලාවල් තියෙනවා . ඒ අය අපිව හැංගිලා කරන දේවල්වලට පොළඹවනවා. අපිට ඒක කරන්න ඕනෙ නෑ. ඒත් අරයට ඒක ඕනෙ . එයයි අපේ හිතට ඒ සිතිවිලි දෙන්නේ.

මම දැක්කා ඍෂිවරයෙක් ඒ අය එක්ක කතා කරන හැටි. ඒ එක්කෙනෙක් කිව්වා එයා ළමයෙකුගේ ඇඟට යනවා ඒ ළමයා games play කරද්දී කියලා. තව pages තියෙනවාලු ඒවට කවුරු හරි යනව නම් ඒ වෙලාවට අර ගොල්ලෝ එයාගේ ඇඟට යනවලු. ඊට පස්සේ එයා තමයි ඒ ළමයව මෙහෙයවන්නේ . එයාට ආශාව ඇති කරවනවා දිගටම ඒ හොරෙන් කරන වැඩ කරන්න . එයාගේ brain එකේ හිතන්න පුළුවන් පැත්ත මේ ඇඟට ආව කෙනා වහ ගන්නවා .

මෙන්න මෙවැනි තැන්වලින් අපිව ආරක්ෂා කරන්නයි බුදුරජාණන්වහන්සේ අපිට ශික්ෂා පද පැනෙව්වේ පින්වතුනි.

ඒවගේම ටෙලිනාට්‍ය බලන එකත් මෙහෙම addict වීමක් පින්වතුනි . ඔබ අනිවාර්යයෙන් ම එය බැලිය යුතුයි කියන තැන ඉන්නවා නම් ඔබ එයට addict වෙලා කියලා ඔබ දැනගන්නට ඕනෙ . ඒක ඔබ ම හොයාගන්න . ඔබට ඒවා බලන්නේ නැතිව ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ . හැබැයි අනිවාර්යයෙන් ම ඔබට එය බලන්න ම ඕනෙ නම් එතන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා . ඒ උනාට ඉතින් ඒක හරි අහිංසක වැඩක් වගේ තමයි පේන්නේ . ඒත් ඒවායින් ස්වභාව ධර්මයේ නීතිය වෙනස් වෙනවා. ඒ නිසා ඔබට මේ ධර්මය තුළට එන්න තියෙන අවස්ථා මඟ හැරෙනවා. මේවායින් ඈත් උනා ම ධර්මය වඩාත් හොඳින් ඇහෙනවා. ස්වභාව ධර්මයේ ආශීර්වාදයත් ලැබෙනවා .

පින්වතුනි ශීලයක් රකිනවා කියන්නේ sacrifice එකක්. පූජාවක්. රසයක් විඳින්න ලැබෙන අවස්ථාවක් අතහැරීම ශාන්තියක්. එතකොට ඒ ශීලය පූජණීයත්වයට පත් වෙනවා. එයින් නිරාමිස සුවයක් ලැබෙනවා. තමන් පිරිසිදු වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා . එයින් නිරන්තර සතුටක් ලැබෙනවා . අද කාලේ වැඩිපුර තියෙන්නේ නිරන්තර දුක්නේ පින්වත්නි , ඒ නිරන්තර දුක එන්නේ ඉන්ද්‍රියයන් පිනවන්නට යාම නිසයි පින්වතුනි . ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය නිසා සිත සමාධිමත් වෙනවා .

ඔබ හැමදාම දවස පටන් ගන්නකොට උදේ ම මූණ හෝදලා නාලා පිරිසිදු වෙනවානේ. මීට පස්සේ ඔබ ඒ ගමන් සිතත් හෝදගෙන දවස පටන් ගන්න . කොහොමද හිත හෝදන්නේ ?. බුදු ගුණවලින් , කරුණාවෙන් මෛත්‍රියෙන් හිත පුරවගන්න ඕනෙ උදේට . ඊට පස්සේ ඒවා ගිලිහෙන්නට නොදී හිතේ රඳවාගෙන ඔබේ අනිත් සියළු වැඩ කරන්න . රස්සාව , අනෙකුත් සියල්ල . ඒ සියල්ල අතරේ අර පිරිසිදු හිත ආරක්ෂා කර ගන්න මුළු දවස පුරා ම. ඒක practice කරනකොට ඒක බලයක් වෙලා හිතේ පිහිටනවා. හිත පැවිදි වෙනවා.

එහෙම උනාට පස්සේ ජීවිතේට එන දුක් කරදර පීඩා නිකං සිදුවීම් විතරයි . ඒවා එක්ක ගැටෙන්න යන්න ඕනෙ වෙන්නේ නෑ. ඒවා අතීතයේ අපි ම කළා වූ දේවල් කියා අතහරින්න පුළුවන් වෙනවා . කෙනෙක් බනිනකොට කෙනෙක් අපිව නොසළකා හරිනකොට අපිට දුක් එන්නේ නෑ මේ විදියට හිත හදාගෙන හිටියම. එතකොට අළුතින් කර්ම හැදෙන්නේ නෑ. අපි ඉස්සර ඒ වෙලාවල්වලට කටින් බැරි නම් හිතින් හරි අනිත් අයට බනිනවානේ. දැන් ඒක වෙන්නෙත් නෑ. අළුතින් මනෝ සංස්කාර රැස් වෙන්නෙත් නෑ. ඒ දේවල් එක්ක ආව විඥානය එතනින් ඉවරයි කියලා අපි දන්නවා . අනිත්‍ය උනා කළා වූ දේ. විපාක දුන්නා . දැන් ඉවරයි. අළුතින් රැස් කළේ නෑ.

ඒ වෙලාවෙ ම ඒක මතක් වෙන්න තරම් සතියක් සිහියක් තියෙනවා මෙහෙම හිත පරිහරණය කරන කෙනාට පින්වතුනි .

ඒ සතිය නැති කෙනා ඒ සිදුවීම දිගේ ගිහින් ඒ ගැන හිත හිතා ඒක මනසිකාරය කරමින් ගොඩක් අළුත් කර්ම රැස් කරනවා. අර කර්මය ඉවර වෙන්න දෙන්නේ නෑ එයා.
ඉතින් අර සිල් කඩා ගන්නේ නැති කෙනා බුදු ගුණ මෛත්‍රිය කරුණාව ඇති කෙනා හරි විශේෂ කෙනෙක් . එයා ජීවත් වෙන කෙනෙක් . නිරන්තර සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් .

ඉතින් ඔහොම කාලයක් යද්දි එයා දන්නවා එහෙම එන ප්‍රශ්න ඇවිත් ඇඟේ හැපිලා යනවා කියලා . මගේ කියලා ගන්න දෙයක්, මටයි මේ උනේ කියලා හිතන්න දෙයක් ඊට පස්සේ එයාට නැති වෙනවා. ඉතින් එයාට කවුරු බැන්නත් ගැහුවත් ඒකට react කරන්නේ නැතිව ඉන්න පුළුවන් වෙනවා . අනුන් කරන කියන දේවල් අයිති ඒ අයට බව එයා දකිනවා. ඒ අය හරි අසරණයන් කියලා එයාට වැටහෙන නිසා ඒ බනින කෙනා කෙරෙහිත් හරි කරුණාවක් ම යි එයාට ඇති වෙන්නේ .

මේ වෙනකොට එයාට දැනෙනවා සල්ලි ම නෙවෙයි ජීවිතේ කියලා . මේ නිවන් මාර්ගයේ යන කෙනාට සතුටින් ඉන්න අවශ්‍ය සියල්ල ලැබෙනවා කියලා එයාට දැනෙනවා පින්වතුනි .

ඉතින් දැන් එයාට ආශාවන් අඩුයි. එයාට මැරෙන කොට අත හරින්න දෙයක් නෑ. එයාට අත හැරිලා තියෙන්නේ . එයා ලෝභ ද්වේශ මෝහ පාලනය කරමින් ඉස්සරහට යනවා.
මේ ස්වාමින්වහන්සේටත් හරියට ද්වේශය ඇති වෙනවා. ඉතින් ස්වාමින්වහන්සේ හුඟක් වීර්යය ගන්නවා ද්වේශ සිත නැති කරන්න . ඕගොල්ලෝ ඒකට ආශීර්වාද කරන්න ස්වාමින්වහන්සේට ඒ ද්වේශය නැති වෙලා ස්වාමින්වහන්සේගේ අරමුණට ඉක්මනින් යන්න ලැබේවා කියලා !.

ඉතින් පින්වතුනි ඔබ මේවා නැවත නැවත අහන්න . මෙනෙහි කරන්න . එතකොට ඔබට පසුබිම හැදෙනවා ධර්මය දරා ගන්න . ඔබ පිරිසිදු වෙනවා ධර්මය දරා ගන්න .
දැන් ඔබට පහනක් ආලෝකයක් ලැබෙනවා ඔබේ නිවන් මඟට . ඒ පහන් ආලෝකය බුද්ධ වචනයයි පින්වතුනි . ඔබ දැන් සුදුසුයි බුදුරජාණන්වහන්සේ එක්ක connection එකක් හදා ගන්න පින්වතුනි. ඔබට පුළුවන් ඒ බුද්ධ වචනය ඔබේ ජීවිතයට බද්ධ කර ගන්න . එතකොට ඔබට දැනෙනවා ඔබේ ඇහැට කණට අනෙකුත් ඉන්ද්‍රියයන්වලට එන සංඥාවන් ඔබට දැනෙන්නේ ඇහෙන්නේ ඒ ගැන ඔබට සිතිවිලි සකස් වෙන්නේ ඔබේ පරණ කර්මයන්ට අනුවයි කියලා. ඔබට ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.

ඉතින් බුද්ධ වචන , සූත්‍ර දේශනා බලලා අහලා වැඩ කරන තැනට ඇසුරු කරන අයට ඒ බුද්ධ වචනය apply කරන්න දැන් ඔබට පුළුවන් වෙනවා පින්වතුනි. මේ මගේ ශරීරය කියා ඔබ අල්ලාගෙන ඉන්නේ පුරාණ කර්මයෙන් සකස් උන සංස්කාර ගොඩක් කියලා ඔබට පැහැදිලිව පේන්න ගනියි පින්වතුනි .

ඔබ එය කරලා බලන්න පින්වතුනි , ඔබේ ඇස්වලට කඳුළු එයි ඔබ මේ විදියට බුදුරජාණන්වහන්සේ ඇසුරු කරනකොට , බුදුරජාණන්වහන්සේට වන්දනා කරන කොට. හදවතින් ම යි ඔබ බුදුරජාණන්වහන්සේ ඇසුරු කරන්නේ එතකොට. ඔබට චිත්ත රූප මැවෙනවා බුදුරජාණන්වහන්සේ ගැන. ඔබ රාත්‍රී කාලයේ ආහාර අරගෙන කිසිවෙකු හා කතා නොකර මනසින් බුදුරජාණන්වහන්සේ දකින්න ඇස් පියාගෙන . පසුවදා වෙනතුරු කිසිවෙක් හා කතා නොකර ඉන්න . රාත්‍රී කාලය බුදුරජාණන්වහන්සේ ඇසුරේ ඉන්න පින්වතුනි .

ඉතින් ඔබට ඊට පස්සේ ඔබේ ජීවිතය වෙනස් වෙන විදිය අත් දකින්න පුළුවන් වෙයි. ඔබත් එක්ක දෙවිදේවතාවුන්වහන්සේලා පවා ඉන්න බව ඔබට දැනෙයි.

අපි හැමෝට ම බුදු පියාණන්වහන්සේ ඇසුරු කරන්නට හේතු සකස් වේවා කියා මුළු හිතින් ම ප්‍රාර්ථනා කරනවා !

අපි හැමෝට ම ලෝභ ද්වේශ මෝහ සිත් අත හැරේවා කියා මුළු හිතින් ම ප්‍රාර්ථනා කරනවා !!

සාදූ සාදූ සාදූ !!!!

ගෞරවනීය ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන ලද ධර්ම දේශනාවකින් උපුටා ගැනීමකි.