’’මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන්හට උතුම්වූ, අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, දෙතිස් මහපුරිස් ලකුණු ඇති, ව්‍යාම ප්‍රභා (බඹයක් පමණ ඈතට රශ්මි)යෙන් යුත්, රැස් සමූහයෙන් ගැවසීගත්, නම්න් කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළවූහ.
’’(මෙම බුදුරජතෙම) සඳු මෙන් අස්වැසිලි කරන්නෙක. හිරු මෙන් පැහැ ඇතිකරන්නෙක. වැහි වලාවක් මෙන් (කෙළෙස්) ගිම් නිවන්නෙක. සයුර මෙන් ගුණ (මැණික්)වලට ආකරයෙක.
’’සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමවත් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් නොඇලෙන්නේද වේ.
’’පිරිස් හමුවෙහි විශාරදවූ ඒ මහාවීරවූ (බුදුරජතෙමේ) කිමියම් දිනෙක මහාජනයා (සසර සයුරින්) ගොඩලමින් සිව්සස් දෙසූ සේක.
’’එකල්හි මම බරණැස් නුවර සමෘද්‍ධවූ ධන ධාන්‍යයට හිමිකරුවෙකුවූ, මහත් යසස් ඇති සිටුපුතෙක් වීමි.
’’මම ජඞ්ඝාවිහාරයෙහි හැසිරෙමින්, මිගදාය නම්වූ මුවන් වසන වනයට එළඹ, අමෘතපදය (නිර්‍වාණ ධර්‍මය) දෙසන්නාවූ, කෙළෙස් රජස් විරහිතවූ, විසිරීයන මනොඥ වචන ඇති, කුරවි කෙවිල් හඬට බඳු හඬ ඇති, හංසධ්වනියට බඳු ශබ්ද ඇති, මහාජනයාට දහම් අවබෝධ කරවන්නාවූ බුදුරජුන් දුටිමි.
’’දේවාතිදේවවූ ඒ බුදුරජුන් දැක මිහිරි වචනද අසා අපමණවූ භෝග සම්පත් අතහැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’මෙසේ පැවිදිවූ මම නොබෝ කලකින්ම බහුශ්‍රුතවූ, ධර්‍මකථිකවූ, විසිතුරු වැටහීම් ඇති කෙනෙක් වීමි.
’’මම මහපිරිස් මැදෙහි සතුටු සිතින් යුතුව ගුණ මැනීමෙහි විශාරද වූයේ, නැවත නැවත ස්වර්ණවර්ණවූ බුදුරජුන්ගේ ගුණ වර්ණනය කෙළෙමි. (කෙසේද යත්?)
’’මෙම බුදුරජතෙම ක්‍ෂයකළ ආශ්‍රවයන් ඇත්තෙක. උවදුරු රහිතයෙක. දුරු කළ සැක ඇතියෙක. සියළු කර්‍මයන්ගේ ක්‍ෂයට පත්වූවෙක. උපධි නම්වූ පඤ්චස්කණධයෙහිවූ (දුකින්) මිදුනෙක.
’’මේ ඒ භාග්‍යවත්වූ බුදුරජතෙමේය. මේ අනුත්තරවූ පුරුෂසිංහ තෙමේය. (මෙතෙම) දෙවියන් සහිත ලෝකයෙහි බ්‍රහ්මචක්‍රය පවත්වන්නේද (වෙයි.)
’’මහර්ෂීවූ බුදුරජ(තෙමේ) දමනයවූයේ, මහජනයාද දමනය කරන්නෙක. (තෙමේ ශාන්තවූයේ) මහාජනයාද ශාන්ත කරන්නෙක. (තෙමේ කෙළස් ගින්නෙන්) නිවුනේද, මහාජනයාද නිවන්නෙක. (තෙමේ) අස්වැසිල්ලට පැමිණියේ, මහාජනයාද අස්වසන්නෙක.
’’ඒ බුදුරජතෙම වීරයෙක. ශූරයෙක. නැණවතෙක. පැණවතෙක. කාරුණීකයෙක. (පඤ්ච වශීකාවෙන්) වසඟවූවෙක. දිනනසුළු කෙනෙක. කලබල නොමැතියෙක. නිරාලය (ආශාව නැති) කෙනෙක.
’’ගුරුන් අතුරෙහිදු (මේ) සර්‍වඥතෙමේ තෘෂ්ණාව නැති කෙනෙක. නිශ්චල කෙනෙක. නුවණැති කෙනෙක. මෝහය නැති කෙනෙක. (සමකොට කීමට අනිකෙකු නොමැති බැවින්) අසමයෙක. ධුර උසුලන්නෙක. වෘෂභයෙක. නාගයෙක. සිංහයෙක. කටයුතු කිරීමෙහි හැකි කෙනෙක.
’’රාගය නැත්තෙක. පව් දුරු කළ කෙනෙක. (සිත්හි රාගාදී කිලුටු නැති බැවින්) අචලවූ කෙනෙක. (පහවූ රාගාදී හුල් ඇති බාවින්) විසල්ලවූ කෙනෙක. (ලෙව්හි සමාන කිරීමට අනිකෙකු නොමැති බැවින්) අසම කෙනෙක. චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් (සංවෘත බැවින්) සන්හුන් කෙනෙක. පිරිසිදු කෙනෙක.
’’(බැහැර කරන ලද පවු ඇති බැවින්) බ්‍රාහ්මණයෙත. (ශමනය කරන ලද පව් ඇති බැවින්) ශ්‍රමණයෙක. අනාථයනට පිහිටවන බැවින්) නාථයෙක. (කෙළෙස්) ලොවට වෛද්‍යයෙක. රාගාදී හුල් උදුරන) ශල්‍ය වෛද්‍යයෙක. (කෙළෙස් සතුරන් ජයගන්නා) යෝධයෙක. (සිව්සස් දත් බැවින්) බුදුවරයෙක. ප්‍රකට කෙනෙක. (දමනය කළ යුතු අය දමනය කරණ බැවින්) සාරථියෙක. නිශ්චල කෙනෙක. මුදිතාවෙන් යුතු කෙනෙක. උසස්ව නැගී ගිය කෙනෙක.
’’තෘප්තියට පත් කෙනෙක. (මහා කරුණා ආදී ගුණ) දරන්නෙක. (කෙළෙස් සතුරන්) නසන්නෙක. (ශාන්තිය) කරන්නෙක. (නිවණට මගට) පව්ණුවන්නෙක. (අමාදහම්) දෙසන්නෙක. (සව්වන්) සතුටු කරන්නෙක. (සසර සක දැවි) බිඳින්නෙක. (සංසාර වෘක්‍ෂය) බිඳින්නෙක. (විනෙය්‍ය ජනයන්ගේ කථාවකට භවාග්‍රයෙහි සිටි නමුදු) ඇහුම්කන් දෙන්නෙක. (මනා ප්‍රතිපත්ති ඇතියනට) පසසන්නෙක.
’’රාගාදී කිලිටි නැති බැවින්) අඛිලවූ කෙනෙක. (පහවූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ලවූ කෙනෙක. උවදුරු රහිත කෙනෙක. සැක දුරු කළ කෙනෙක. තෘෂ්ණා විරහිත කෙනෙක. කෙළෙස් රජස් විරහිත කෙනෙක. ඉවසන කෙනෙක. නිවන් මග යන්නෙක. (මග නොමග මේ යයි) කියන්නෙක. (හිතාහිත මේ යයි) පවසන්නෙක.
’’(සත්ත්‍වයන් සසරින්) එතෙර කරන්නෙක. අභිවෘද්‍ධිකාරයෙක. නිවන් (සිදු) කරන්නෙක. (කෙළෙස් ගල්කුළු) පැලුවෙක. (සත්ත්‍වයන් නිවනට) පමුණුවන්නෙක. (ලෝකෝත්තර ගුණ) සහිතවූවෙක. දුටුවන් සිත් ඇදගන්නා කෙනෙක. (කෙළෙස් සතුරන්) නසන්නෙක. (කෙළෙස් තවන) වීර්‍ය්‍ය ඇත්තෙක. තපෝගුණ යුත් කෙනෙකි.
’’(සතුරු, මිතුරු, වැදගත් කවුරුන් කෙරෙහිත්) සමසිත් ඇතියෙක. (අසමවූ බුදුවරයනටම පමණක් සමාන වන බැවින්) අසම සම කෙනෙක. (මේ සමානයයි දැක්වීමට අනිකෙකු නොමැති බැවින්) අසහාය කෙනෙක. දයාගුණ නැත්තෙක. සර්‍වඥතාග් ඥානය සඳහා කටයුතුතාක් දැය කළ කෙනෙක. පෙර සම්බුදුවරයන් වහන්සේ කෙනෙකුට අනතුරුව ලොව පහළවූ බැවින් ඉසිත්තම නමැත්තෙක.
’’දුරුකළ සැක ඇතියෙක. මානය නැත්තෙක. පමණ කළ නොහැකි ගුණ ඇතියෙක. උපමා විෂයය ඉක්මවූ කෙනෙක. සකල වර්‍ණනා විෂයයන් ඉක්මවා ගිය කෙනෙක. සත්‍ය ධර්‍මයාගේ හා දතයුතු සකල ධර්‍මයාගේ පරතෙරෙට ගිය කෙනෙක. පස්මරුන් ජයගත් කෙනෙක.
’’මෙම සත්ත්‍වසාරයවූ බුදුරජුන් කෙරෙහි (ඇතිකර ගන්නා) ප්‍රසාදය අමාසුව එළවන්නේ වෙයි. එහෙයින් බුද්ධ රත්නය කෙරෙහිද, ධර්‍ම රත්නය කෙරෙහිද, සඞ්ඝ රත්නය කෙරෙහිද (ඇතිවූ) ශ්‍රද්‍ධා තොමෝ මහත් ඎද්‍ධි ඇත්තීය.’’ කියායි.
’’මම මේ ආදී ගුණයන්ගෙන් තුන් ලොවට උතුම් පිළිසරණවූ බුදුරජුන් වර්‍ණනය කරමින් පිරිස් මැද ධර්‍ම කථාවක් කෙළෙමි.
’’මම ඉන් චුතවූයේ, තුෂිතයෙහි මහත් සැප අනුභවකොට, ඉනුදු චුතවූයේ මිනිසත් බැව්හි උපන්නේ, සුවඳවත්වූයේ වෙමි.
’’මාගේ පිට කරන වාතයද, මුඛ ගන්ධයද, ශරීර ගන්ධයද, එසේම, මාගේ ඩහදිය ගඳද හැම කල්හි සියළු සුවඳ වහණය කරයි.
’’හැම කල්හි මාගේ මුව සුවඳ පියුම්, උපුග්, සපු මල් සුවඳ (මේ යයි) පෙන්වමින් හමයි. මාගේ සිරුරද එසේමය.
’’(බුදුරජුන් පිළිබඳ) ගුණකීර්‍තනයාගේ ඒ සියළු විපාකය අතිශය විෂ්මය ජනකය. ඒ වර්‍ණනය කරන්නෙමි. සියල්ලෝ එකඟ සිත් ඇත්තෝව මාගේ (ඒ වචනය) අසව්.
’’ජනයා එක්වන තන්හිදී ඉතසිතින් මධුර ස්වරධ්වනි යුක්තවූයේ (මිහිරි හඬ ඇත්තේ) බුදු ගුණ කියා හැම තන්හි සුව ඇත්තේ වෙමි.
’’යසස් ඇත්තේ, සුව ඇත්තේ, මනහරවූයේ, ප්‍රභාවත්වූයේ, පිය දැකුම් ඇත්තේ, එසේම, (සොඳුරු වචන) කියනසුළුවූයේ, (අනුන්ගේ ධනයෙන්) පෝෂණය නොකරන ලද්දේ, නිදොස්වූයේ, පැණවත්වූයේද වෙමි.
’’ආයුෂ ගෙවීගිය කල්හි, බුද්ධ භක්තිකයිනට නිවන පහසුවෙන් ලැබෙන්නේ වේ. ඔවුන්ගේ (නිවන් සුලබ බවට) හේතුව කියමි. යම් ඒ පරිද්දෙකින් (එය වේ නම්) (ඒ කෙසේදැයි) අසව්.
’’මම භාග්‍යවතුන් වහන්සේගේ ශාන්තවූ යශසට විධිවූ පරිදි අභිවාදනය කරන්නේ, ඒ කරණකොටගෙන යම් යම් තැනක උපන්නේ නමුදු යසස් ඇත්තෙක් වෙමි.
’’දුක් කෙළවර කරන්නාවූ බුදුරජුන්ද, ශාන්තවූ අසංස්කෘත ධර්‍මයද වර්‍ණනා කරන්නේ, සෙසු සත්නටද සුව දෙන කෙනෙක් වීමි. ඒ හේතුවෙන් සුව ඇත්තෙක් (වීමි.)
’’බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තවූයේ, බුදුරජුන් ගුණ කියන්නේ, සිය සිත් ගැනුමද, පර සිත් ගැනුමද ඇති කෙළෙමි. ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි.
’’තීර්ත්‍ථකයන් විසින් ගැවසීගත් ජන සමූහයා කෙරෙහි (ඒ) මිත්‍යා තීර්ත්‍ථකයන් මැඩපවත්වා, ගුණ කියමින් බුදුරජුන් බැබලවීමි. ඒ හේතුවෙන් පැහැපත් කෙනෙක් වීමි.
’’මම සම්බුදුරජුන්ගේ ගුණ කියන්නේ ඒ හේතුවෙන් සරාසඳ මෙන් ජනයාහට ප්‍රියංකර ගති ඇත්තේ, ප්‍රිය දැකුම් ඇත්තේ වීමි.
’’මම ශක්ති පමණින් බුදුරජුන්හට සියළු වචනයන්ගෙන් ස්තූති කෙළෙමි. (ඒ හේතුවෙන්) (කීමෙහි දක්‍ෂවූ) වාගිස්වරවූයේ, විසුතුරුවූ වැටහෙන නුවණ ඇත්තේද වීමි.
’’විමතියට පත් යම් බාල කෙනෙක්, මහා මුනිවූ බුදුරජුන්හට පරිභව කෙරෙත් නම්, ඔවුනට කරුණු සහිතව නිග්‍රහ කෙළෙමි. ඒ හේතුවෙන් මම පරිභව නොලද්දේ විමි.
’’මම බුදුගුණ වැණීමෙන් සත්ත්‍වයින්ගේ කෙළෙස් දුරු කෙළෙමි. එම කාමයාගේ බලයෙන් නිකෙළෙස් සිත් ඇත්තේ වෙමි.
’’බුදුගුණ සිහිකොට දෙසන්නෝ අසන්නවුන්ගේ නුවණ ඉපදවීමි. එහෙයින් මම ප්‍රඥා සහිතවුයේ, සියුම්වූ අදහස් දක්නේ වේ.
’’සියළු ආශ්‍රවයන් කරන ලදුයේ, තරණය කරන ලද සසර සයුරු ඇත්තේ, උපාදාන (දර) රහිත ගින්නක් මෙන් පිරිනිවනට පැමිණියේ වෙමි.
’’මම මෙම කල්පයෙහිම බුදුරජුන් හට යම් ස්තූතියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුගුණ වැනීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සුගන්ධ ථෙරාපදානය .