ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන් ඵලයට පත්නොවූ සෑම පින්වතෙක්ම, පින්වතියක්ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. මෙම මානසික ව්‍යාධිය මානසික වෛද්‍ය මහත්මයෙක් මුණගැසී ප‍්‍රතිකාරගත යුතු මානසික ව්‍යාධියක් නොවේ, මෙම මානසික ව්‍යාධිය තෘෂ්ණාවේ තීව‍්‍රභාවය විසින් සකස් කොට දෙන සක්කායදිට්ටියේ මානසික ව්‍යාධියයි. මෙම මානසික ව්‍යාධියේ ප‍්‍රධානම රෝග ලක්‍ෂණ දෙකක් තිබෙනවා. එම රෝග ලක්‍ෂණ දෙක තමයි අධිමානය සහ හීනමානය. මෙම රෝග ලක්‍ෂණ දෙකටම මූල බීජය වන්නේ, පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඇතිකොටගත් තෘෂ්ණාවමයි.
බුදුරජාණන් වහන්සේ සංඝයා වන අපට වගේම, ගිහි පින්වතුන්ටද දේශනා කරන්නේ, සෑම මොහොතකම තමාට වඩා නුවණැති, දැනුමැති, ගුණයෙන්, වැඩිහිටි කෙනෙක් සමග ඇසුරු කරන්න කියලා. තමන්ට වඩා ගුණයෙන් වැඩිහිටි කෙනෙක් සොයා ගැනීමට නොහැකි නම්, තමා හා සම ගුණයන්ගෙන් යුත් පින්වතෙක්, ඇසුරු කරන්න කියලා. තමා හා සම ගුණයෙන් යුත් පින්වතෙක්, පින්වත් ඔබට ඇසුරු කිරීමට නැති නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තනිවම, ජීවත් වෙන්නය කියලා.
මෙය සටහන් තබන භික්‍ෂුවට නම් සිතෙන්නේ, වර්තමාන සමාජයේ ධාතු විවිධත්වයේ ඇති විකෘතීන් නිසාම, තනිවම ජීවත්වන එක, හුඟාක්ම ආරක්‍ෂාකාරිය කියල. මෙතැනදී ආරක්‍ෂාකාරී යැයි සඳහන් කළේ, ආර්යඅෂ්ටාංගික මාර්ගය නිවැරැදිව ජීවිතයට එකතුකර ගැනීමේ ආරක්‍ෂාවයි. පින්වත් ඔබ සමාජයට චෝදනා නොකර, සමාජගතවී ඇති ව්‍යසනයන්ගේ, ධර්මානුකූල රුව ගුණ දැකලා ආර්ය මාර්ගය නිවැරැදිව පුහුණු කරමින්, තනිවම ජීවත්වීමට උත්සාහ කරන පින්වතෙක් නම්, එයත් ධාතු විවිධත්වයේ තවත් එක ගුණාත්මක, අර්ථයක්ම වෙනවා.
බුදුරජාණන් වහන්සේ, තෘෂ්ණාවෙන් මනුෂ්‍ය සමාජය, කරවටක් ගිලී යනවා දැකලාමයි ඒ හේතුවෙන් සකස්වන, විකෘති ධාතු විවිධත්වයන් දැකලාමයි, කණ්ඩායමෙන් හුදකලාව ජීවත්වීමට කැමැති, උපසම්පදා භික්‍ෂූන් වහන්සේටත්, තනිවම පොහොය කරන්නට, තනිවම වස් ශීලය අධිෂ්ටානය කරන්නට, තනිවම වස් පවාරණය කිරීමට, අවශ්‍ය විනය කාරණා, මීට වසර දෙදහස් හයසියයකට පෙරාතුව පනවන්න ඇත්තේ.