සිල් සමාදන් වීම පිළිබද දැනගත යුතු කරුණු.

දුල්ලභෝ මනුස්සත්තභාවෝ

මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතු ය. පස්කම් සැප විඳීම මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකි. මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම්, අනාගත සංසාරයෙහිදී පිහිටවීමට ශීලසමාදානාදි කුශල ක්‍රියාවන් කර ගැනීම ය. පස්කම් සැපය සිහිනයක් බඳු ය. කොතරමි උසස් ලෙස පස්කම් සැප ලැබුයේ ද ඒවායින් අනාගත සංසාරයට නපුරක් මිස යහපතක් නැත. තුනුරුවන් සේවනය නො කරන ශීලසමාදානාදි පින්කම්හි නො යෙදෙන, පස්කම් සැපයෙහි ම ඇලී සිටින, ඒවා නිසා නොයෙක් පව්කම් කරන මිනිසා මරණින් මතු ඔසවාගෙන ගොස් අතහරින ලද්දක් මෙන් අපායට වැටෙන්නේ ය.
අපායෙහි උපන් ඔහුගේ මළසිරුර නෑමිතුරන් විසින් සැරසූ මගින් පාවාඩපිටින් මහ පෙරහරින් චිතකය කර ගෙන ගොස් බොහෝ භික්ෂූන් වහන්සේ වැඩම කරවා උසස් කථිකයන් ගෙන්වා නන් අයුරින් ගුණ කියවා ආදාහන කෙළේ ද, ඒවා අපායෙහි සිටින තැනැත්තා නො දැන ගන්නේ ය. එතැනට වැඩම කරන භික්ෂූන් වහන්සේ ඔහු ගොඩ ගැනීමට නොසමත් වන්නාහ. මියගිය ඔහුගේ ගුණ වර්ණනා කරන කථිකයෝ ද, එසේ කරවන නෑ මිතුරෝ ද ඔහු අපායෙන් ගොඩ ගැනීමට නො සමත් වන්නාහ. ඔහු ඉතා දීර්ඝකාලයක් කළ පව්කම්වල විපාක විඳින්නේ ය. වර්ෂ කෝටි ගණනකිදු ඔහුට නැවත මිනිසත් බවක් නො ලැබිය හැකි වන්නේ ය.

රිසි සේ ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, අමාරුවෙන් අඹුදරුවන් පෝෂණය කරන, බර වැඩ කොට ජීවත්වන දුගියකු වුවද, තෙරුවන් සේවනය කරන්නේ නම්, පව්කමින් වළකින්නේ නම්, පොහොය සිල් සමාදන් වන්නේ නම්, ඔහු මරණින් මතු නින්දෙන් අවදි වූවකු මෙන් දෙව් ලොව දෙවියන් අතර පෙනී සිටින්නේ ය. ඔහුගේ මළ සිරුර පැදුරු කබලක ඔතා ගෙන ගොස් වළ දැමූයේ ද එයින් දෙව්ලොව දෙව් සැපතින් කල් යවන ඔහුට වන හානියක් නැත. ඔහු තමා ලැබූ මිනිසත් බව සඵලකර ගත්තේ ය.

අඹුදරුවන් පෝෂණය කරමින් ජීවත්වන මිනිසාට සැමදාම පින් කිරීමෙහි යෙදෙන්නට ඉඩක් නැත. එබැවින් පැරණියෝ මසකට දින සතරක් පින් කිරීම සඳහා වෙන්කර ගත්හ. පෝය දවස් ය කියනුයේ ඒ දිනවලට ය. පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුරදුන් ලොව පහළ වීමට පෙර සිට ය. උන්වහන්සේ ද ඒ පෝය දින එසේම පිළිගෙන ඒ දිනවලදී පෙහෙවස් විසීම අනුදැන වදාළ සේක. එබැවින් බෞද්ධයෝ ඒ දින වලදී සිල් සමාදන්වීම පුරුදු කර ගත්හ.

සැදැහැති නුවණැති බෞද්ධයෝ අන් කටයුතුවල නොයෙදී පොහෝ දිනයෙහි සිල් සමාදන් වෙති. සිල් සමාදන් නො විය හැක්කෝ ද ඒ දිනයෙහි විහාරස්ථානවලට ගොස් දහම් ඇසීම් මල්පහන් පිදීම් ආදි පින්කම් කරති. විශේෂයෙන් පව්කම්වලින් වැළකෙති. රක්ෂාව පිණිස සතුන් මරන්නෝ එදින සතුන් නො මරති. සතුන්ගෙන් වැඩගන්නෝ එදින වැඩ නො ගනිති. ගොවීහු පොළොව කෙටීමෙන් හා හේන් ගිනි තැබීමෙන් වළකිති. පොහෝ දිනය දෙව්ලොව දෙවියන්ගේ ද සැලකිල්ලට භාජන වී ඇති දිනයකි. පොහෝ දිනයන්හි දෙවියන් මිනිස්ලොව ඇවිද පින් කරන මිනිසුන් ගණන් ගන්නා බව ලෝකානුවිවරණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

සිල් සමාදන් වීමට සූදානම් වීම

සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනයේ ම ඒ සඳහා සූදානම් විය යුතු ය. පොහෝ දිනයේ කරන්නට ඇති යමක් ඇති නම්, ඒ සියල්ල කලින් කිරීමෙන් හෝ අනිකකුට පැවරීමෙන් හෝ කල් තැබීමෙන් හෝ පොහෝ දිනය සම්පූර්ණයෙන් අවකාශ ඇති දිනයක් කර ගත යුතු ය. හැඳීමට සුදු වතක් සුදු බැනියමක් ද ඒකාංස කොට පෙරවීමට සතර රියනක් හෝ පස් රියනක් ඇති සුදුවතක් ද පිළියෙළ කර ගත යුතු ය. තමන් වෙත ඇති වස්ත්‍ර‍ කිලිටි වී ඇති නම් ඒවා පිරිසිදු කර තබා ගත යුතු ය. සුදු රෙදි නැති නම් තමන්ට ඇති වස්ත්‍ර‍යක් හැඳ සිල් ගැනීම ද වරද නැත. සුදුවත් හැඳ පෙරවීම චාරිත්‍ර‍යක් මිස ශීලයේ අංගයක් නොවේ. සිල් සමාදන් වීමෙන් පසු දානය, ගිලන්පස ලැබෙන ක්‍ර‍මයක් සලසා ගත යුතු ය. ඒවා තමා විසින් ම පිළියෙළ කර ගැනීමෙන් ද වරදක් නැත. තමා ම ඒවා පිළියෙළ කර ගන්නවා නම් වුවමනා උපකරණ කලින් සූදානම් කර තබා කාලය පැමිණි කල්හි ආහාර පිස ගත යුතු ය. ගිලන්පස පිළියෙළ කර ගත යුතු ය.

ගෙදර තමන් විසින් සත්කාර කළයුතු දුබලයකු හෝ රෝගියකු හෝ ඇති නම් සිල් සමාදන් වී සිට ඔවුන්ට සත්කාර කිරීම ද වරද නැත. සිල්සමාදන් වූ දිනයේ සිකපද නොබිඳෙන පව් නොවන කිනම් දෙයක් වුව ද කිරීමෙන් වරදක් නොවේ.

පොහෝ දිනයට එළිවෙන්නට කලින් අලුයම සතරට පහට පමණ නැගිට මුහුණ සේදීම් ආදියෙන් ශරීරය පිරිසිදු කරගෙන, මල් නෙලා ගන්නට ඇති නම් නෙලා ගෙන, උදයට අනුභව කිරීමට ආහාරයක් ඇති නම් එය ද වළඳා කනේ, කරේ හිසේ හා අත්වල පැළඳි අබරණ ඇති නම් ඒවා ශරීරයෙන් මුදා පරෙස්සම් වන සේ තබා, සුදුවත් හැඳ පෙරවා මල් ආදී පූජා භාණ්ඩ ගෙන උදේ හයට කලින් සිල් සමාදන් වන ස්ථානයට යා යුතු ය.

සිල් සමාදන් වීමට කලින් ආහාර ගැනීම නුසුදුසු යයි ඇතැම්හු සිතති. ඒ වැරදි හැඟීමකි. වඩා හොඳ ක්‍ර‍මය උදයට ගන්නා ආහාරය සිල් සමාදන්වන්නට කලින් වැළඳීම ය. එසේ නො කළහොත් සිල්සමාදන් වූ සැටියේ ම ආහාර සොයා යන්නට සිදුවේ. එය සිල් සමාදන් වී කරන භාවනාදි කටයුතුවලට බාධාවකි. කලින් ම ආහාර ගෙන සිල් සමාදන් වූ කල්හි එතැන් පටන් දවල් දාන වේලාව පැමිණෙන තුරු භාවනාදි කටයුතුවල බාධාවක් නැතිව යෙදිය හැකි ය.

සිල් සමාදන් වී වැඳුම් පිදුම් ආදිය කොට දවල් වී අටට නවයට පමණ උදයට ගන්නා ආහාර ගැනීම නුසුදුසු ය. සිල් සමාදන් වූවන් විසින් දවල් දොළහට කලින් ආහාර ගත යුතු ය. වරක් ගත් ආහාරය දිරවීමට අඩු ගණනින් සතර පැයක් ගත වන්නේ ය. අට නවය වී ගන්නා ආහාරය දවල් දානය වේලාවට නො දිර වන්නේ ය. වරක් ගත් ආහාය දිරවන්නට කලින් තවත් ආහාර ගැනීම ශරීරයට අහිත ය. එයින් රෝග හට ගන්නට ඉඩ ඇත. උදේ ගත් ආහාරය දිරවන්නට පෙර දවල් ආහාර ගන්නහුට දවසට සෑහෙන ආහාර ගන්නට නො පිළිවන් විය හැකි ය. එයින් රාත්‍රි කාලයේ නිරාහාරව සිටීමේ දී අපහසුකම් ද ඇතිවිය හැකි ය. එබැවින් සිල් සමාදන් වීමට කලින් ඉතා උදෑසනින් ම ආහාර වළඳා සිල් සමාදන් වීම ඉතා හොඳ බව සැලකිය යුතු ය.

සමාදන්වීම

තමන්ගේ සිත පහදින සිල්වත් ගුණවත් සම්භාවනීය මහතෙර නමක් ලවා සිකපද කියවා ගෙන සිල් සමාදන් වීම ඉතා හොඳ ය. එබඳු කෙනකුන් නොලබන කල්හි කුඩා සාමණේර නමකගෙන් වුව ද සිල් සමාදන් විය යුතු ය. ශීලය සිල් සමාදන් කරවන භික්ෂූන් වහන්සේ වෙත තිබී ගිහියා වෙතට එන දෙයක් නොවේ. භික්ෂූන් වහන්සේ කරනුයේ ගුරුවරයකු වශයෙන් සිකපද කියවීම ය. ඒවා කියා ගැනීමෙන් ගිහියාට ශීලය ඇති වේ. ගිහියාට සිල් පිහිටීමට සිල් දෙන භික්ෂූන් වහන්සේ සිල්වත් වීම හෝ නොවීම කරුණක් නො වේ. එබැවින් සිල් දෙන භික්ෂුවට සිල් ඇති නැති බව සොයන්න නො යා යුතු ය. භික්ෂුවක් නැති කල්හි උපාසක කෙනකු ලවා සිකපද කියවා ගැනීමට ද සුදුසු ය. සිකපද කියවා සිල් සමාදන් කරවන කෙනකු නැති කල්හි තමා සිකපද දන්නේ නම් විහාරයකට හෝ චෛත්‍යයක් බෝධියක් සමීපයකට හෝ ගොස් තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය. විහාරාදියක් නැති තැනක් වී නම් කොතැනක හෝ හිඳ තුනුරුවන් ගුණ සිහි කොට වැඳ තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය.

උදේ හයට සිල් සමාදන් වීම අපහසු නම් හතට අටට වුවද සිල් සමාදන්වීම සුදුසු ය. සිල් සමාදන් වීමට නියමිත නැකැත් වේලාවක් නැත. උදේ හයට ම සමාදන්වීම වඩා හොඳ බව පමණක් කිය යුතු ය. ශීලය කිනම් වේලාවක සමාදන් වුවත් සිංහල පැයින් සැට පැයක් ව්‍යවහාර පැයින් සූවිසි පැයක් ශීලයෙහි පිහිටා සිටිය යුතු ය. පොහෝ දින උදයේ හයට සිල් සමාදන් වන තැනැත්තා පසුදින උදයේ හය වනතුරු ද, හතට සිල් සමාදන් වූ තැනැත්තා පසුදින උදයේ හත වන තුරු ද, අටට සිල් සමාදන් වූ තැනැත්තා පසු දින උදයේ අට වන තුරු ද, ශීලයෙහි පිහිටා දවස සම්පූර්ණ කළ යුතු ය.

අටසිල්

ඉහත කී පරිදි මල් ආදිය ගෙන උදෑසනින් ම විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී පූජා කරනු සඳහා ගෙන ආ මල් ආදිය පසෙක තබා සිල් දෙන භික්ෂූන් වහන්සේ වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ උක්කුටියෙන් හෝ දන බිම ගසා හෝ හිඳ දොහොත් මුදුනේ තබා වැඳගෙන මේ වාක්‍යය කියා භික්ෂූන් වහන්සේගෙන් සිල් ඉල්ලනු.

සිල් ඉල්ලීමේ වාක්‍යය:

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මෙ භන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය.

සිල්දෙන භික්ෂූන් වහන්සේ විසින් “යමං වදාමි තං වදේථ” ය යි කී කල්හි “ආම භන්තේ” යි කියා, නමස්කාරය ද කියනු. ඉක්බිති භික්ෂූන් වහන්සේ කියවන පරිදි මතු දැක්වෙන සිකපද කියනු.

බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි

සංඝං සරණං ගච්ඡාමි

.

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

.

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

සිල් දෙන භික්ෂූන් වහන්සේ “තිසරණ ගමනං සම්පුණ්ණං” යි කී කල්හි “ආම භන්තේ” යි කියා උන් වහන්සේ කියවන පරිදි මේ සිකපද කියනු.

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධවිලේපන ධාරණමණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මේ සිකපද අට කියවා නිම වූ පසු සිල් දෙන භික්ෂූන්වහන්සේ විසින් “තිසරණෙන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදේථ” යි කී කල්හි “ආම භන්තේ” යි කියනු.

සිල් දෙන කෙනෙකු නැතිව තමා ම සිල් සමාදන්වන කල්හි සිල් ඉල්ලීමේ වාක්‍යය නො කියා නමස්කාරය හා “බුද්ධං සරණං ගච්ඡාමි” යනාදි පද නවය හා “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදි සිකපද අට ද කියා සිල් සමාදන් වනු. සිල් සමාදන් කරවීමේදී “අජ්ජ ඉමං ච දිවසං ඉමං ච රත්තිං අට්ඨංග සමන්නාගතං උපෝසථං උපවසාමි” යන වැකිය ද ඇතැම් හිමිවරු කියවති. සිල් දෙන භික්ෂූන් වහන්සේ කියවුව හොත් එය ද කියනු.

නවාංගුපෝසථ සීලය.

සිල් ඉල්ලන වාක්‍යය

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.

දුතියම්පි ……………………..

තතියම්පි …………………….

අෂ්ටාංග, නවාංග ශීල දෙක්හි ඇති වෙනස නවාංග ශීලයට වැඩිපුර සිකපදයක් ඇතිවීම පමණෙකි. ඒ මෙසේ ය.

සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි.

මේ ශීලය සමාදන් වන පින්වතා විසින් ද අෂ්ටාංග ශීලය සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු පරිදි සියල්ල කළ යුතු ය. වෙනස නම් නව වන සිකපදය සම්පූර්ණ වීම පිණිස දවසට කීප විටක් මෛත්‍රී භාවනාව කිරීම ය. මෛත්‍රී භාවනාව නොකළ හොත් නවාංග ශීලය නො පිරේ.

නව වන සිකපදයේ තේරුම සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමිය යනුයි. මෛත්‍රී භාවනාව ශීලයේ අංගයක් වශයෙන් ගෙන නවාංග උපෝසථ ශීලය විශේෂ සීලයක් වශයෙන් වදාරා ඇත්තේ ය.

ගිහි දස සීලය

සිල් ඉල්ලන වාක්‍යය:-

ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධි ගහට්ඨ දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.

දුතියම්පි ඕකාස………………..

තතියම්පි ඕකාස………………..

සිල් පද :-

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

නච්ච ගීත වාදිත විසූකදස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

ජාතරූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

මෙයට අයත් මුල් සිකපද නවය අටශීලයට අයත් සිකපද ම ය. විශේෂයෙන් ඇත්තේ අන්තිම සිකපදය ය. එහෙත් මේ ශීලය උසස් ශීලයෙකි. මෙය උත්කෘෂ්ට ලෙස සමාදන් වෙනවා න් තමාට අයත් රන් රිදී හා මුදල් කිසිවක් තබා නො ගෙන සමාදන් විය යුතුය. සාමාන්‍යයෙන් එක් දිනකට පමණක් සමාදන් වන්නහු විසින් තමා අයත් රන්රිදී හා මුදල් තිබෙන තැන්වල තිබෙන්නට හැර අලුතෙන් කිසිවක් නො පිළිගත යුතු ය. තිබෙන මුදල් පිළිබඳ සංවිධානයක් ද නො කළ යුතු ය.

සිල් සමාදන් වූවන් විසින් නොකළ යුතු කතා

සිල් සමාදන් වූ සත්පුරුෂයන් විසින් ඒ දිනය තමා අතින් කිසිම පාපයක් සිදු නොවන ලෙස ගත කිරීමට උත්සාහ කළ යුතු ය. සිහියෙන් යුක්තවිය යුතු ය. ඇතැම්හු සිල් සමාදන් වී රාජකථාදි තිරශ්චීන කථාවල යෙදී ශීලය කිලිටි කර ගනිති. සිල්ගත් දිනයේ දී දේශපාලන කතා, මැති ඇමතිවරුන් පිළිබඳ කතා, ආවාහ විවාහ පිළිබඳ කතා, නැන්දලා ලේලිලා පිළිබඳ කතා, රැකීරක්ෂා පිළිබඳ කතා, ඉඩකඩම්වල අයිතිවාසිකම් පිළිබඳ කතා, බූදල් බෙදීම් පිළිබඳ කතා, වතු කුඹුරු පිළිබඳ කතා, රටේ සරුබව නිසරුව බව පිළිබඳ කතා, දූදරුවන් දියුණුකර ගැනීම පිළිබඳ කතා, වීරයන් පිළිබඳ කතා, නළුවන් පිළිබඳ කතා, නැටුම් ගැයුම් වැයුම් පිළිබඳ කතා, ආහාර පාන පිළිබඳ කතා, ඇඳුම් පැළඳුම් පිළිබඳ කතා, ගෙවල් පිළිබඳ කතා, යානවාහන පිළිබඳ කතා, අනුන්ගේ අඩුපාඩුකම් පිළිබඳ කතා, අනුන්ගේ වැරදි පිළිබඳ කතා යනාදි කෙලෙස් වැඩීමට හේතුවන කතාවලින් වැළකී විසිය යුතු ය.

සිල් සමාදාන වීමෙන් දසපාරමිතාව ම පිරේ.

මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල් ය. රහත් බව පසේ බුදුබව ලොවුතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ. බෝධිත්‍ර‍ය පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍ර‍ය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයෙකි. සිල් සමාදන් වන දිනයේ නුවණින් ක්‍රියා කළ හොත් ඔබට පාරමිතා දසයම ලැබිය හැකි ය.

මල් පූජා, පහන් පූජා, ගිලන් පස පූජා, ආහාර පූජා කිරීමෙන් ඔබට දානපාරමිතාව පිරේ. අනිකකුට දානයක් දුන හොත් දානයකට සහභාගී වුවහොත් එයින් ද දාන පාරමිතාව ම පිරේ. ධර්‍ම කථිකයන් වැඩම කරවා බණ කියවුව හොත් තමා බණකියුව හොත් සෙස්සන්ට අසන්නට බණ පොතක් හෝ කියවුවහොත් එයින් ද දාන පාරමිතාව පිරේ. සිල් සමාදන් වී සිටින ඔබට සීලපාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කියයුත්තක් නැත.

අඹු දරුවන් හැර, සැමියන් හැර, අලංකාර වස්ත්‍රාභරණ හැර, රාත්‍රී භෝජනය හැර, නැටුම් බැලීම් ආදිය හැර, සුව පහසු ඇති සිය නිවස හැර දහම් හලකට වී පැදුරක වාසය කිරීම කාමයන් කෙරෙන් බැහැර වීමය. එය නෛෂ්ක්‍ර‍ම්‍ය ය. එයින් ඔබට නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පිරේ.

පොහොය දිනයේ දී ප්‍ර‍ඥාව ලබනු පිණිස දහම් ඇසීමෙන්, දහම් පොත් කියවීමෙන්, ධර්ම සාක්ච්ඡා කිරීමෙන්, තමා දත් ධර්මය සෙස්සන්ට කියා දීමෙන්, භාවනා කිරීමෙන් ප්‍ර‍ඥා පාරමිතාව පිරේ.

ඔබ මේ පොහෝ දිනයෙහි සිල් රැකීමට, ධුතංග රැකීමට, භාවනා කිරීමට, දහම් ඇසීමට, වත් පිළිවෙත් කිරීමට කරන වීර්‍ය්‍යය වීර්‍ය්‍ය පාරමිතාවය.

සිල් සමාදන් වී සාගින්න ඉවසීම, පිපාසය ඉවසීම, ශාරීරික වේදනා ඉවසීම, මැසිමදුරු කරදර ඉවසීම, ශීතෝෂ්ණ ඉවසීම, අනුන්ගෙන් අපහාස ලැබේ නම් ඒවා ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය.

සත්‍යය පාවිච්චි කිරීමෙන් සත්‍යයෙහි පිහිටා සිටීමෙන් සත්‍ය පාරමිතාව පිරේ.

මම මෙපමණක් ශීල රකිමිය, මෙතෙක් කල්හි භාවනා කරමිය යනාදීන් අධිෂ්ඨාන කරගෙන අධිෂ්ඨාන කළ පරිදි ඒවා සම්පූර්ණ කිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව පිරේ.

අන්‍යයන්ගේ යහපත පිණිස ඇමදීම්, කසළ ඉවත්කිරීම් පැන් සපයා තැබීම්, පහන් දල්වා තැබීම් ආදී මෛත්‍රී සහගත කායික ක්‍රියා කිරීමෙන් ද, අනුන්ගේ සිත් සතුටු වන පරිදි යහපත් වචන කතා කිරෟීමෙන් ද, අනුන්ගේ යහපත පිණිස ධර්මය කියා දීමෙන් ද, මෛත්‍රී භාවනා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ.

පිරීම හොඳට ම අමාරු පාරමිතාව උපේක්ෂා පාරමිතාව ය. අපවිත්‍ර‍ ශරීරය හා ඇඳුම් ඇති, නොයෙක් ලෙඩ ඇති, බැලීමට කැත, ළංවන කොට දුගඳ, අවලස්සන පුද්ගලයන් පිළිකුල් කරන්නේ ද නැතිව, ලස්සන අයට උසස් අයට ඇලුම් කරන්නේ ද නැතිව සතුරන්ට නපුරුකම් සිතන්නේ නැතිව, හිතවතුන්ට වැඩි ඇල්මක් සැලකිල්ලක් කරන්නේ නැතිව, හොඳය කියන දේවලට ඇලුම් කරන්නේ නැතිව, කැතය නරකය කියන දේ පිළිකුල් කරන්නේ නැතිව මෙදිය සියල්ල කෙරෙහි මධ්‍යස්ථව වාසය කරනවා නම් එයින් උපේක්ෂා පාරමිතාව පිරේ.

මෙසේ නුවණින් ක්‍රියා කිරීමෙන් සිල් ගත් දිනයේ දස පාරමිතාව ම සම්පූර්ණ කළ හැකි බව සැලකිය යුතු ය.

චිරං තිට්ඨතු සද්ධම්මෝ.