සැබෑම ආදරවන්තයා.

සමාජය අනතුරුදායක නම්, ශිල්පද ඔබ ඔබේ සැබෑ මිතුරා බවට පත්කරගන්න. එවිට සිතේ සංසිඳීමක්‌ ඇතිවේවි. එම සංසිඳුන සිත ඔබ ඉදිරියේ ඇති බියකරු යථාර්ථය හොඳින් ග්‍රහණය කරදේවි. එවිටයි ඔබට පුළුවන් ලෝකයට ආදරය කරන සැබෑම ආදරවන්තයෙක්‌ වන්න. ආදරය කියන වචනයට සමාජය ගොඩාක්‌ අර්ථයන් දෙනවා. ලෝකය කියන කාරණය ගනිද්දිත්, ‘ලෝකය දුකය’ කියන කාරණය ගනිද්දිත් සමාජය ආදරයට දෙන අර්ථකථන වැරදි නැහැ. ඒ නිසා ඒවා ලෝකයේ ස්‌වභාවයේම තිබුණාවේ. ඒවා වෙනස්‌ කරන්න අපි කාටවත් බැහැ. ඒවා දුකට අයිති ලෝකයේ ස්‌වභාවයයි. එම නිසා අනාගතයේදී තව ඕනෑතරම් ට-මහල් ඉදිවේවි. එක්‌ටැම්ගෙවල් ඉදිවේවි. ජීවිත පූජාවන් සිදුවේවි. සිහිමුළාවන්ට පත්වේවි.

මුසාබස්‌ වලට තරුණ තරුණියන් විකිණේවි. කාමයේ ආදීනවය, නිස්‌සරණය නොහඳුනන්ගේ ලෝකයේ ආශ්වාදයේ කෙටිවූ දුක්‌ කඳුළු සහ සතුටු කඳුළු මහා සාගරයේ දිය පරයා යන තරමට දෑස්‌ වලින් වැගිරේවි. දුකටත් සැපයටත් එකම කඳුළ හෙළන මුලාවේ ලෝකය, තව තව සුන්දර අර්ථකථනයන් ආදරය ගැන සමාජයට සපයාවි. ඒ අය ආදරවන්තයන්ගේ වීරයන්, වීරවරියන් වේවි. එම වීරයන්, වීරවරියන්ම තම ජීවිතයේ අවසන් කාලයේ, අසරණභාවයෙන්, අනුනගේ ආදරය ඉල්ලා ජීවත්වෙයි. සමාජයේ කොයි තරාතිරමේ සිටියත් ඔතැනට තමයි අපි යන්නේ. ආදරයේ නාමයෙන් අපි බොරුවක්‌මයි කරන්නේ. ඔබට ආදරය නොකරන ඔබ, අනුනට කෙසේ ආදරය කරන්නද? ඔබ ළඟත් නැති දෙයක්‌ ඔබ කෙසේ නම් අනුනට දෙන්නද? නැති බව නොදන්නාකම නිසාම, ඇති බව සිතමින් තමනුත්, අනුනුත් දුකට වැටීමයි අවසානයේ සිදුවන්නේ.

එවන් දුකට ලෝකයකුයි අප ඉදිරියේ තිබෙන්නේ. තමා තමාට ආදරය කරනවා කියන්නේ ආත්මාර්ථකාමීව තමාගේ ගොඩ ලොකු කරගන්නවා කියන කාරණය නොවෙයි. මුළින්ම තමා සුරක්‍ෂිතභාවයට පත්වෙනවා. කුමක්‌ද මේ ලෝකයේ තිබෙන සැබෑම සුරක්‍ෂිතභාවය. තෙරුවන් සරණේ පිහිටලා, ශීලයක්‌ සමාදන්වීම තරම් සුරක්‍ෂිතභාවයක්‌ පිංවත් ඔබට හමුවන්නේ නැහැ. මෙතැනදි ගිහි පිංවතුන්ලා දස කුසල්ම ජීවිතයට එකතුකරගන්න දක්‍ෂ වෙන්න ඕනේ. කයෙන්, වචනයෙන් වන අකුසල් වගේම මනසින් අකුසල් වන ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා ගැන අවධානයෙන් ඉන්න ඕනේ.

උපුටා ගැනීම – ”මහ රහතුන් වැඩි මග ඔස්සේ”, ලිපි පෙළ ඇසුරෙන්